Saturday, May 26, 2012

උපමාවක් නැති සැබෑ ආදරේ......(සත්‍ය කථාවක්)

               ආදරය කියන්නේ ලබා ගැනීම (හිමිකර ගැනීමම) නෙවෙයි.ඊට එහා ගිය පුදුමාකාර දේකට මොන වගේ වචන දාල අර්ථකතනයක් දෙන්නද කියලනම් මට තේරෙන්නෙ නෑ.ආදරයට හරිම අර්ථකතනයක් දෙන්න අපි කාටවත් බෑ.ඒත් අපි හැමෝම ආදරය කරනවනෙ ආදරේ කරල තියනවනේ ඇයි අපිට ආදරේට හරි අර්ථකතනයක් දෙන්න බැරි. අර්තකථනයක් දෙන්න බැරිනම් ආදරේ වෙනුවෙන් ජීවිතේම කැප කරන්න පුළුවන්ද? ජීවිතේම එකම ආදරය වෙනුවෙන් මියයන්න පුළුවන්ද නොලැබුන ආදරේ වෙනුවෙන් ජීවිත කාලෙම බලන් ඉන්න පුළුවන්ද? ඔයාට ආදරේ අහිමි වුණානම් ඒ ආදරේ කල කෙනාගෙ අනාගතය වෙනුවෙන් හදවතින් සුභ පතන්න පුළුවන්ද?එයා පටන් ගත්ත අළුත් ජීවිතයට ආශිර්වාද කරල නික්ම යන්න පුළුවන්ද? එහෙනම් ඔබ හරියටම ආදර කල කෙනෙක් ආදරය ගැන දන්න කෙනෙක්

            දෙන්නෙක් ආදරය කරන්නෙ අවසාන හීනය / අභියෝගය විවාහය කියන කඩයිම කොහොම හරි පහු කරන්න.ඒත් ආදරය කරන කීයෙන් කීදෙනාටද තමන්ගෙ ආදරේ ජීවිත කාලෙටම තමන් ලග තියාගන්න පුළුවන් වෙන්නෙ.අඹු සැමියන් වී සෙනෙසහ බෙදාගන්න, දරු පැටවු දෙතුන් දෙනෙක්ගෙ අම්මයි අප්පච්චියි වෙන්න.මේ ජීවිතේ හරි පුදුමාකාරයි.හිත ඉල්ලන දේ ලැබෙන්නෙ නෑ ලැබුනත් වැඩිකල් පවතින නෑ.ලෝක ධර්මය කියල හිත හදාගන්නත් බෑ.එහෙම නේද? හැම ආදර කථාවකම කදුලු සාගරයක් පිරිල තියෙනවා.ආදරේ දිනාගත්ත පෙම්වතුන්ගෙ ජීවිතවලට එබිල බැලුවොත් කොයිතරම් බාධක කම්‍කටොලු පිරිච්ච ජීවිතද? අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගියපු අය දිනුම්.

              අභියෝග ජය ගන්න හිත් දෙකම එක වගේම ශක්තිමත් වෙන්න ඕනි එක්කෙනෙක් හෝ වැටුණොත් වැටුණම තමා. බලන්නකෝ ඒවගේම ආදරණීය කදුලු කථාවක් ආදරේ වෙනුවෙන් ජීවිතේම කැප කරන ආදරණීය දෙපලක්.ආදරේ හිමිවේවිද අහිමිවේවිද කියලා.

               මාතර  පැත්තෙ සිද්ධවුණ ඇත්තම ආදරණීය කථාවක්.පිටිසර ලස්සන ගමක් පුදුමාකාර ලස්සන සුන්දර ගමක්.ගමේ සුන්දර කම වැඩිකරන්න ගමට හිටිය ලස්සන පුංචි කුමාරිකාවක් නම අපි දැනට දාමු සන්ධ්‍යා කියලා.ඇත්තටම ඇගේ  ලස්සනට කියන්න බැරි තරම්. ඒ ලස්සන දෙගුණ කරන්න තරම් ඇගේ අහිංසකකම.දිගම දිග කොණ්ඩය ලස්සන ඇස් පිහාටු දුඹුරුපාට ඇස්දෙක පුදුමාකාර ලස්සනක් ඇයට එක්කලේ පැහැපත් සිරුරේ වර්ණය. දකින කොල්ලෙක් පිස්සු වැටෙන්නෙ ඉස්සෙල්ලාම ඒ ලස්සනට.ගමටම තිබුණ සල්ලිකාර පවුලේ බඩපිස්සිය වුනේ නංගිට පණටත් වඩා ආදරය කරන අයියලා 6 දෙනෙක්ගේ පුංචි දඟකාරිය වෙමින්.නංගිව ඇස් දෙක වගේ බලාගන්න ආදරණීය අයියලාගෙන් ඇයටනම් තිබුනේ පුදුමාකාර කරදරයක්.ආදරේ වැඩිවුණාමත් අපිට හරි කරදරයිනෙ එහෙම නේද? අන්න ඒවගෙයි එයාටත්.සෙරෙප්පු දෙකක් නැතිව එළියට බහින්නවත් තහනම්.තව ඒ ගැන මොන කතාද.හැම වෙලේම කවුරුහරි පස්සෙන්.

                පුංචි කෙල්ල පාසලේ හිටපු ලස්සනම කෙල්ල.ටිකෙන් ටික තරුණ වෙන්නෙ තව තවත් පුදුමාකාර ලස්සනක් එක්කරමින්.ඒකාලෙ වැඩිපුර ඉගන ගන්නෙ නෑ අටපාස් කිව්වම අද කැම්පස් ගිහින් ඩිග්රිය ගැහුව වගේ තමයි 5 වසර 6 වසරින් නැවතිලා ගොයම් කපන වැඩ වලට හවුල් වෙනවා.ඒ නිසා ගොඩක් ළමයි ඉස්කෝලෙ යන්නෙම නැති තරම්.8 වසරෙදි තියෙන විභාගෙ හරියට A/L වගේ ( ඒකාලෙ ගැන හරියටම දන්නෙ නෑ ඔක්කොම අහල දැනගත්තුවා) කොහොම නමුත් සන්ධ්‍යා හොදට ඉගන ගන්නවා වෙන බලපෑමක් නැති නිසා.ඉස්කෝලෙ හිටියෙත් 8 වසරෙ ළමයි 12 දෙනයි.සන්ධ්‍යා වෙනුවෙන් දකින ඕනිම කෙනෙක් ආස වෙන අතරේ සන්ධ්‍යාට ආදරේ කරන කෙනෙක් පංතිය ඇතුලෙ හිටියා කුමාර කියලා.දකින හැම කෙනාගෙන්ම වසන් වුණාට සන්ධ්‍යා කුමාරගෙන් නම් වසන් වුණේ නෑ.ටිකෙන් ටික මේ දෙන්න අතරේ ආදරයක් ඇතිවෙන්න මහ කාලයක්නම් ගත වුණේ නෑ.කුමාර කියන්නෙ  දුප්පත් පවුලක කෙනෙක්.

                  ඒකාලෙ මිනිසුන් බෙදල වෙන් කරනවා ජාති කුලමල නිසා. ලෝකය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ වගේ දේවල් නැති වුන නිසා අද කාලෙ අය ඔය ගැන වැඩියමක් දන්නෙ නම් නැතුව ඇති.ඔයාල තියා මමවත් දන්නෙ නෑ මේ කථාව නිසාම මට ඒ ගැන දැනගන්න උවමනා වුන නිසා ටිකක් දැනගත්තා 

ගොවි කුලය- ගොවිතැන්කරන්නා
රදා කුලය-රෙදි සෝදන්නා
කරා කුලය-මාළු අල්ලන්නා
බෙරව කුලය-බෙර වයන්නා
නවන්දණ්ඩ කුලය-යකඩතලන්නා
දුරා කුලය-
ඔලී කුලය
(වාසගමින් කුලය හොයාගන්න පුළුවන් කියලයි මම දැනගත්තේ යට පත් වුණත් පැරණි අයගේ හිත්වලනම් මේවා තාම තියෙනවා) 

              කුමාර කියන්නෙත් රදා කියන අඩුකුලේ ඉපදුන කෙනෙක්.සන්ධ්‍යා කියන්නෙ ගොවිකුලයේ ඉපදුණ කෙනෙක් ඒ කාලයේ ගොවි කුලය හැදින්වුනේ උසස්ම කුලය විදියටලු. දැන් කථාව තේරෙනව කියලද හිතන්නෙ. නෑ කථාව වෙනස් ඉතුරු ටිකත් බලන්න.කොහොම හරි සන්ධ්‍ය ගෙයි කුමාරගෙයි ආදර කථාව අයියලාගේ කණට වැටුනෙ මේ දෙන්නගෙ අවාසනාවට.අවසානෙ සිද්ධ වුනේ සන්ධ්‍යාට ඉස්කෝලෙ ගමන නවත්වන්න.ඉස්කොලෙ ගමන නැවතුනත් ආදර කථාවනම් නැවතුනේ නෑ."ආදරේ කොහෙදෝ බාධා නැත්තේ " ඔයාට එහෙම හිතුණ නේද? එහෙම හිතල මේ දෙන්නත් හැමෝගෙම ඇස් වහල කොහේදී හරි හම්බවෙලා දෙන්නට දෙන්න චුට්ටක් මූණ දැකගන්නවා.ආදරෙන් ලංවෙලා කථා කරකර ඉන්න බැරි වුනත් දැක ගත්තත් මේ දෙන්නට ඇති.

                    මේ සම්බන්ධෙ නවත්තන්න සන්ධ්‍යාගේ අයියලා ගොඩක් දේවල් කලත් හරි ගියේම නෑ.කුමාරගෙ ගෙදර අය ගමින් පලවා හරින්න තීරණය කලේ මේ කථාව කොහොම හරි ඉවර කරන්න. "උඹට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද  ඔය රදාවා නැතුව"   පුදුමාකාර විදියේ අපහාස හිරිහැර මැද්දේ සන්ධ්‍යා ජීවත් වුනේ කවදාක හෝ කුමාර එක්ක ජීවත් වෙන්න ජීවිතයක් තියාගන්නම ඕනි නිසා.කුමාරගෙ පවුලෙ අය නොයෙකුත් හිරිහැර මැද්දෙ ගමේ ජීවත් වුණේ හරිම අමාරුවෙන්.වෙනදටත් වඩා ගමෙන් වෙන් වුණ පවුලක් වුනේ අඩුකුලේ ඉපදුන පවට.හිරිහැර  මැද ඉවසන් හිටියත් බැරිම තැන කුමාරගෙ පවුලෙ අය ගමෙන් පිටවෙන්න තීරණය කලා.එහා ගමට.එහා ගමටනෙ කියල ඔයාට හිතුණට ගමක් කොච්චර විශාලද ඒ දවස් වල.කොහොමින් හරි ආදර කථාවට ගොඩක් බාධා ආවා.පුංචි කුමාරිහාමිනම් එදාටත් වැඩිය අද ගොඩක් ආදරෙයි කුමාරට. ලියමනක් කාගෙ අතේ හෝ යවා ආදරය රැකගන්න ඈ ගොඩක් ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණා. 

                 මේ කරදර නිසාම මේ ආදරේ වෙනුවෙන් මේ දෙන්නගෙ වයසෙ කොල්ලො කෙල්ලො මේ දෙන්නට උදවු කලා.ආදරේ වෙනුවෙන්.ගොඩක් දවසක්‍ දෙන්නට දෙන්න නොදැකපු නිසා දැකගන්න පොඩි උදවුවක් ඉල්ලගෙන යාළුවන්ගෙන් අයියලා මග ඇරල මේ දෙන්නා හම්බවුනේ යාළුවොත් වටේට ඔත්තු බලන්න තියාගනිමින්.සන්ධ්‍යාගේ දුක අහපු කුමාර ඇගේ හිත සැනසුවෙ ආයෙ බලන්න එනවා යැයි පොරොන්දු වෙමින් එදාට ඔහු සමග කොහේ හෝ යාමට එන්න යැයි කියමින් (හරියටම කියනවනම් පැනල යන්න දිනයක් දාගන්නයි මේ ඇවිත් තියෙන්නෙ) 

                        අවාසනාව කොයිතරම්ද මේ අහිංසක ආදරේ.මේ දෙන්නගේ මේ හමුවීම අයියලාගේ කණට වැටුනේ තවත් ප්‍රශ්න රාශියක් උපද්දවමින්.කුමාරයි සන්ධ්‍යයි හමුවූ වග දැනගත් සන්ධ්‍යාගේ අයියලා හැසිරුණේ පිස්සු හැදුණ බලු රංචුවක් ගානට.සන්ධ්‍යාගේ අම්මා තාත්තා පවා ඇයට මෙම සම්බන්ධයට විරුද්ධ වූ බැවින් ඇයට ඇය පමණක් ඉතිරි විය.එහෙත් කොතරම් බාධක ආවත් කුමාර අත්නොහරින බවට ඇය ඇයටම පොරොන්දු කරගෙන මේ බාධකයත් මැඩගෙන ඉදිරියට යන්න හිත හදාගත්තාය.පිස්සු බල්ලන් සේ හැසිරුන අයියලා සන්ධ්‍යාව කාමරය තුලට දමා පහර දුන්නේය.ආදරය හමුවේ වේදනාවන් ඉවසා ගැනීමට ඇය මහත් වෙහෙසක් දැරීය.''උඹ ආයෙ මේ ගෙදරින් හෙලවෙනවා බොරු''
සන්ධ්‍යාගේ වැඩිමල් සොයුරා බැන වදිමින් කීවේය."උඹට ඕනි අපිට තියෙන නම්බුව නැති කරන්න ගමේ වුන් අපිට හිනා වෙනව බලන්න" පුදුමාකාර හිරිහැර අපහාස අතරින් ඇය තව තවත් පීඩා විදීය.

                  අයියලාගේ කේන්තිය ඉවරයක් නැත.ඇයට ගෙදරින් පිටවන්නට නොහැකි අයුරින් සියල්ල සැලසුම් කර ඇයට පය බිම තියන්නට බැරි වෙන්නද  දඬුවම් කරන්නට වූයේ ඉතා සාහසික ලෙස.නිලතල ගරු නම්බුනාමයන් නිසා අහිංසක පවුලේ බාලම සහෝදරියට කුරිරු වද හිංසා දුන්නේ හිත්පිත් නැති ලෙසටය.සන්ධ්‍යාගේ කකුලේ යටිපතුල් පලා ඒවාට ලුණු වතුර එක්කලේ මිනිස්කමද පහත් තත්වයට පත්කරමින්.වේදනාවේ පතුලටම සිරවූ ඇය වේදනාව මැඩ ගන්නට ඇගේ එකම ආදරේ සිතින් සිහිකරන්නට පවා ඇය ආදරණීය පෙම්වතියක් විය.මේ හැම දෙයක්ම මම ඉවසනවා කුමාර ඇය ඇයටම දවසකට දහස් වරක් මිමිණීය.පොලොවේ පය ගසන්නට පවා නොහැකි වූ ඇය තුන් මසක් පමණ වේදනාවන් සමග ඇදක් මත ගත කරන්නට සිදුවිය. 

වේදනාවන් තුලම සිරවූ ඇය තෙමසකට එකම ඇදේ කල් ගෙවීය.කකුලේ වූ තුවාල හොදවෙමින් පවතී.නිවසේ වෙනදාට වැඩියෙන් යමක් වන බව ඇයට වැටහිණි.නමුත් එය කුමක්දැයි දැන ගැනීමට ඇයට අවශ්‍ය නොවීය.මලත් කමක් නෑ ඇයට ජීවිතයද එපා වීය."කුමාර මොනවා කරනවා ඇත්ද? එයා දුකෙන් ඇති මං ගැන ආරංචි වෙලා නොතිබුණොත් හොදයි නැත්තම් එයා දුක්වෙයි." ඇයට නිතරම කුමාර සිහිවිය.කුමාරත් මේ අතරතුර ඇය විදින වේදනාවෙන් මුදා ගැනීමට කිහිප වරක් පැමිණියද ඒ සියලු අවස්ථාවන් අසාර්ථක වූයේ ඔහුගේ හැම පැමිණිමක්ම සන්ධ්‍යාගේ අයියලාට හමුවූ බැවිණි.ඒ ගැන කිසිදු දෙයක් සන්ධ්‍යාට දැන ගැනීමට නොහැකි විය.කුරිරු පහරකෑම් වලට පත් වූ කුමාරද සන්ධ්‍යාව ජීවිතෙන් අයින් කරන්නට නොසිතූහ...


හැමදේම මැරෙනකම්නෙ. ජීවත්වෙන්න බැරිනම් මැරෙනවා.සන්ධ්‍යාගේ තිර අධිෂ්ඨානය දැන් එයම විය.කකුලේ තුවාල සුව වූ සන්ධ්‍යා තුන්මසක් පමණ සිටි කාමරයෙන් එළියට ගත්තේ නොසිතූ වෙලාවක.වෙන්නේ මොකක්දැයි ඇයටවත් තේරුමක් නැත.වෙනදා මෙන් නොව මව පියාද ඇයට ආදරෙන් කථා කරන්නට විය.මෙපමණ කලක් කුරිරු ලෙස වදහිංසා කල සොහොයුරන් පවා මහත් සෙනෙහසින් කථා කලේ පුංචි කාලයේ මෙන් හරි ආදරණීයව.මොකක්දෝ වෙනසකට මුල පුරනවා ඇයට දැනිනි.ගෙදර අසල්වාසීන්ගෙන් පිරී තිබිණ.හැමෝම කුමක් හෝ වැඩක නියැලීය.ඇයට වැටහිනි.මව සොයා ගොස් මවගෙන් විමසුවේ "අම්මේ පොඩි අයියා බඳිනවද කියායි "පොඩි අයිය නෙමෙයි හෙට බඳින්නෙ උඹ එහා ගමේ දිසාසේකර හාමුගෙ ලොකු පුතා.අපේ මූණෙ දැලිගාල පවුලම විනාස කරන්න කලින් .හෙන ගැහුවා සේ ඇසුන දෙයින් කල යුතුදේ මොකක්දැයි පවා ඇයට සිහිවන්නේ නැති තරමට ඇයව මහත් කම්පනයකට ඇති කලේය.

සන්ධ්‍යා දිව ගියේ කිසිම අරමුණක් නැතිවම.වේදනාව ඉවසාගත නොහැකි සන්ධ්‍යා ගබඩාකාමරයේ තිබූ රබර් ඇසිඩ් බෝතලය කටට ගත්තේ කුමාර නැති ජීවිතයෙන් මට පලක් නැත යයි සිතමින්.රබර් ඇසිඩ් පානය කල ඇය පුදුමාකාර වේදනාවකින් බිම පතිතවනු දැක්කේ සන්ධ්‍යාගේ බාල සහෝදරයායි."අම්මේ ‍අම්මේ පොඩ්ඩි ඇසිඩ් බිව්වා" සන්ධයාට එය හොදට ඇසුනි.මහත් වේදනාවකි ශරීරයම පිලිස්සීයන හැටි ඇයට දැනින.සන්ධ්‍යාගේ අයියලා ඇයව වහා රෝහල් ගත කෙරිණ..  

සන්ධ්‍යා මිය යයිද?   ජීවත් වෙයිද? 

කුමාරටයි සන්ධ්‍යාටයි මේ දෙන්නගෙම කියලා ආදර ලෝකයක් හදාගන්න මේ දෙන්නට පුළුවන් වේවිද? 

සන්ධ්‍යා මිය ගියොත් කුමාර ජීවත් වෙයිද?

පොස්ට් එක දිග වැඩිවුණ නිසා ඊළඟ පොස්ට් එකෙන් ඉතුරු ටික බලන්න එන්න අමතක නොකර..... 

14 comments:

  1. කතාව ලියලා තියන හැටි නම් හුගක් ලස්සනයි අක්කි...කතාවේ ඉතිරි ටිකත් ඉක්මන‍ටම හොදින් ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ඉතුරුටික බලන්නකෝ..බොහොම ස්තූතියි ඔබට සිතූ

      Delete
  2. අම්මෝ එක අයියෙක් ඉන්න මට අයියලා 6 දෙනෙක් උන්නු සන්ධ්‍යාට කොහොමද කියලා හිතා ගන්න පුළුවන්...
    මොනා උනත් කථාව නම් ලස්සනයි හැබැයි දුකයි..වෙන් උනාම තනියම විද වන එක තරම් දරා ගන්න බැරි වේදනාවක් තව නැතුව ඇති...

    දිගටම ලියන්න සිහින ජය වේවා....

    ReplyDelete
  3. කථාව දිගටම බලන්න නිෂ්.. මමත් ආසම ආදර කථාව..ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...

    ReplyDelete
  4. :O මාර කතාවක්නේ සෙරෙප්පු දෙකක් නැතිව එලියට බහින්න දුන්නේ නැති අයියලා නංගි කෙනෙක්ට මෙහෙම කරයිද?.එහෙම තිරිසන්නු ඉන්න බැරිත් නැහැ බලමුකෝ ඉතුරු ටිකත්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිශාන් මෙහෙම මිනිස්සුත් ලංකාවෙ ඉන්නවා.මටත් පුදුමාකාර දුකක් දැනුන කථාවක්.ඉතුරු ටිකත් බලන්නකෝ..

      Delete
  5. ආදරය වැඩි වුණාමත් මේවගේ දඩුවම් ලබන්න තරම් සොයුරු ආදරය එච්චර දරුණු දඩුවමක් වුණේ කොහොමද.. :(
    කතාවෙ ඉතිරියත් බලාගෙන ඉන්නවා සිහින සිත්තම්... :(

    ReplyDelete
    Replies
    1. අනිවාර්්‍යයෙන් බලන්න නන්දු..මේ කථාව ටිකක් අමුතුයි.පුදුමාකාර ආදරයක්.

      Delete
  6. කතාවේ ඊළග කොටසත් ඉක්මනට දාන්නකෝ..

    ReplyDelete
    Replies
    1. හරි යාළු ඉක්මණට දාන්නම්....

      Delete
  7. අයියෝ හොඳම හරියට ඇවිත්නෙ කථාව නතර කලේ.ඉක්මනටම ඉතුරු කොටසත් දාන්නකො...

    ReplyDelete
    Replies
    1. ඉවසන්න යාළු ඉවසන්න කථාවෙ තව පොඩි කොටසයි.. ඉක්මණට දාන්නම් බොහොම ස්තූතියි ඔයාලට..

      Delete
  8. අප්පෝ පිස්සු කෙල්ලෙක් නේ !!!
    තාම ප්‍රශ්නයක් උනාම හරි හැටි තීරණයක් ගන්න බැරි නිසා වෙන්ටෑ මේ වගේ දෙයක් කරගත්තේ. !!!

    ඉතුරු කොටසුත් බලලා ඉමු !

    ReplyDelete
  9. හැමෝටම එක වගේ චින්තන ශක්තියක් නෑනේ...ඉතුරු ටික බලන්නකෝ

    ReplyDelete