Friday, May 11, 2012

උමතුවෙන්ලු මම......


                                     
                                        කඳුලින් බොඳව යන්නට මත්තෙන් දෑස පිහිදා 
නැවත බැලුවේ මාදුටු  රුව නුඹගෙ දැයි මට මෙන් දෙ‍නෙතටත් සැකයක්   නැගුණු නිසාවෙන්. පුංචිම දේටත් නොකඩවා ගලාගෙන  වැටෙන  කඳුලු ඇස්දෙක අනේ මට නොතිබුණානම් මේ ලෝකෙ වැඩිපුරම අඬන කෙනා නොවන්න  මට  තිබුණා.  හිතට  වාරු  නැතත්  ගතට  මවා  ගත් වාරුවක් අරගෙන ටිකෙන් ටික දැකපු නුඹේ රුවට ලංවෙද්දි කොහේදෝඉදන්කඳුලු කැට  පෙලක්  මුණපුරා  තෙමාගෙන  කම්මුල්  දිගේ  බෙල්ලට  වැටෙද්දි කාටවත් නොපෙනෙන්න කලින් දෑතින් පිසදැම්මෙ කඳුලු දැන් දැන්නවතී යයි සිතමින්.

                                        ටැප් එකක් ඇරිය වගේ ඔහේ ගලාගෙන  කඳුලු කැට වැටෙද්දි  ඔන්න  ඔහේ  වැටියන්  හිතේ  හිරවෙලා  ඉන්නවට වැඩිය කියල මටම  හිතුණ  නිසා හෙමින් හෙමින් පය  තිබ්බෙ  දැකපු  රුව නුඹේ රුවදැයි බලාගන්න.  හිත  මහ  හඬින් හඬනකොට  මට  දැන් හිතෙන්නෙ  මේ  මම  දකින්නෙ  ඔයාගෙ  රුවනම්  නොවන  වග.  කවදාවත්  නැතුව  මමත්  අද  මට  පණ  වගේ  ආදරය කරන ඔයා ගැන සැක හිතුණ මන්දා  මම දන්නවා මේ ඔයා නෙමෙයි. ඒත් හිතේ ඇතිවුන කහට මකාගන්න ඔයාගෙ  මුණ  බලන්නම  ඕනි  කියලා  මට  හිතෙනවා.  මට  පවු  පිරෙයි පන්සිළු   ඔයා  ගැන මොහොතකටවත් මෙහෙම සැක කරනවට. වෙරළ එහා කොනේ ඉදලා බලාගෙන ඉදලා බැරිම තැන තව තව ලංවුනේ ඔව් මේ ඔයා නෙමෙයි කියලා  හිතට හරියටම දැනගන්න.  ඔයා පොරොන්දු වුණා කිසිම දවසක මාව දාලනම් යන්නෙ නෑ කියලා ඔයාගෙ ජීවිතේ එකම කෙල්ල මම කියලා.



                                              මට මතකයි පන්සිළු අපි දෙන්නා හැමදාම මුණගැහෙන  ගල්  බංකුවේ  ඉදගෙන  මගේ මූණටම එබීගෙන ඔයා කියපු හැටි. මට ඔයා කරපු කියපු හැමදේම මතක් වෙද්දි මේ ඔයා නෙමෙයි කියල හිතුන නිසාම මම ආපහු හැරිල යන්න තීරණය කලා.දැකපු රුව හරිහැටි නොදැක.කොහොම නමුත් ඔයා වගේම හැඩ රුවක් නිසා මට අද ඔයා ගැන සැකයක් ඇතිවුණා..දස දහස් වාරයක් සමාවෙන්න පන්සිළු මගේ ඇස් දෙක මාව රැවැට්ටුවා.මට පණ වගේ ආදරය කරන ඔයාව මම මගේ පණටත් වඩා ආදරේ කරන ඔයාව අදුරගන්න මටත් බැරිවුනේ කොහොමද කියල මට හිතාගන්නත් බැහැ.පන්සිළු ඔයාට මම උපන්දිනේට අරන් දුන්න ටී ෂර්ට් එක වගේම එකක් ඒ පිරිමි ළමයත් ඇදන් හිටපු නිසා මම රැවටෙන්න ඇති. හිතින් දහස් වරක් මම මගෙන් සමාව ඉල්ලමින් මම ආපහු හැරුනෙ දෑසට වැඩිය හදවතට නුඹව විශ්වාස නිසා. 

                                          ආයෙමත් යාළුවො ටිකත් එක්ක එකතුවෙලා හරි හරියට රැල්ල එක්ක සෙල්ලම් කලේ වේව්ලල ගිය හිත ඕනවටත් වඩා හදාගන්න.

                         "කොහෙද බං උඹ හිටපු ගමන් අතුරුදහන් උනේ" කියල යාළුවො අහද්දි  මතක් වුනේ  අඬපු පාට ඇස් වලින් පේනවද දන්නෙ නෑ කියල. හැමෝගෙම ඇස් වහල මුහුදු වතුරෙන් මූණ හෝදගත්තේ ආයෙමත් දෙපාරක් නොහිතා සැනකින්. 
                 
                 "පංචාලි....    පංචාලි.....    පංචාලි.....  පොඩ්ඩක් එන්නකො"  
අරුණි මට කථා කරද්දි මුහුදු වතුර එක්ක අපි හොදට සෙල්ලම් කරනවා. කන්කරච්චලේ බැරිම තැන 
                    "උඹ මගේ නම පාඩම් කරනවද කියලා" අහනගමන් මමත් වතුරෙන් ගොඩවුණා.ඒකිගෙ කරටත් අතක් දාන ගමන් තෙමිච්ච මගේ අනිත් අතේ වතුරින් අරුණිගෙ මූණ තෙමුවෙ බැනුමකුත් අහන්න බලාගෙන.මෙයා කාටහරි බයවෙලාද මූණත් අමුතුයි.
                "මොකද අරුණි බයවෙලාවගේ මට ඉබේටම වගේ කියවුණා."

                                    "පැංචි උඹ කලබල වෙන්න එපා මම පන්සිළු ව   දැක්කා කෙල්ලේ එහා පැත්තෙ කෙල්ලෙක් එක්ක ඉන්නවා."
මගෙ හිත හදන ස්වරූපයකින් අරුණි කියද්දි අකුණක් ගහල පිපුරුණා වගේ හිතම කඩාගෙන බිමට වැටුණා.මමත් රැවටුනේ මෙයා දැකපු දේටම තමයි කියල හිත කිවුවත් මහ ගොඩක් හිත රිදුනෙ පන්සිළු කෙල්ලෙක් එක්ක ඉන්නව කියපු වචන ටිකට.අයියෝ චුට්ටකට කලින් හදාගත්ත හිත.
                                          "අනේ අරුණි මමත් දැක්ක ඒ බෝයිව මමත් රැවටුණා උඹ වගේම පන්සිළු වගේමයි නේද"   බීරන්ත වුණ අරුණිගෙ මූණට තට්ටුවක් දාන ගමන් මම කිව්වා. අරුණිනම් ඒ වචන වලින් සෑහීමකට පත්වුනේ නෑ කියල එයාගෙ මූණෙ ඉරියව්වලින්ම මට පෙනුනා.  
                                     "මේ අහපන් පැංචි බොරුවට හිත රවට්ටගන්නෙ නැතුව ඇත්තට මූණ දීපන් මම එයාව දැක්කා ඒ පන්සිළු." හිතම ලෝදිය හැලියක ඔබල ගත්ත වගේ පිච්චිලා යද්දි "වරෙන් යන්න මාත් එක්ක" ආයෙමත් අරුණි කියවන්න ගත්තා. එයාට ඇහුම්කන් දෙන්න හිත හදාගත්ත සැනින් අවසරයක් නැතිව මගේ කැමැත්තක්වත් නැතිව මගේ අතින් ඇදගෙන අරුණි දුවල දුවල මාව ඇදගෙන වගේ ගියා.හිත හදාගත්ත කිවුවට දැන්නම් මගේ හිතත් මොකක්ද වෙලා වගේ කියලා මට හිතෙනවා.

                               මාවත් ඇදගෙන දුවපු අරුණි එක පාරටම නැවතුණා.
ඒ මගේ ඇස් දෙක වගේම අරුණිගෙ  ඇස් දෙකත් රවට්ටපු අර පෙම්යුවල හොඳට පේන තැනකට.    
                                        "පිටිපස්සට නම් පන්සිළු වගේ වුණාට තේරුම් ගනින් ඒ පන්සිළු නෙමෙයි" ආපහු මගේ කටින් පිටවුණා.ඇසිල්ලකින් අරුණි ආයෙමත් මාව ඇදගෙන ඉස්සෙල්ලටත් වැඩිය වේගයෙන් දුවන්න වගේ ගත්තා. ලස්සන පාට කුඩයක් ළඟ පිටිපස්සට වෙන්න අපි දෙන්න නැවතුනේ මුහුද දිහා බලාගෙන ඉන්න ආදරණීය පෙම්වතුන් දෙපලක් ලග. 

                                    සියල්ල නිසලවිය හදවත ගැහෙන රාවය පමණක් වැඩිවිය. කරදරකාරී මුහුදේ හඬත් මූසල සේයාරුවක් මවාගත්තා දැයි සිතේ. සිතුවිලි ඔහේ මට කරදර කරද්දී ඇසුනු හඬින් මමත් බිය විය.      
                                 "පන්සිළු" අරුණිගෙ හඬ ටිකක් වැඩියෙන් සද්දෙට ඇහුණා.ඒ සද්දෙටදෝ මගේ ඇස් පියවුණා.තව මොහොතකින් අප දෙසට හැරෙන පෙම්වතුන් දෙපල මගේ ඇස් වලට නොපෙනෙන්න මම ඇස් පියා ගත්තා වෙන්නත් පුළුවන්.ඇස් පියා ගත්තේ මගේ පන්සිළු ඔයා වුණොත් කියන බයට.දෑස පියවුණ සැනින් මගේ පන්සිළු පෙනී නොපිනී ගියා මගේ ඇස් පිය යට ඉදලා.ලේ ඇට මස් නහර තුලින් මම ආදරය කරන මගේ පන්සිළු ඔයා නොවේවායි පතමින් දෑස අරින්නට හිතුනත් හදවතේ ගැහෙන රාවයට මමද බියවුණි. මටත් නොදැනිම කඳුලු ඉස්සර වුණා.කම්මුල් දිගේ කඳුලු පෙරෙනකොට මට මම ගැනම දුක සිතුණි.ආදරය වේදනාවක් මට හිතුණේ එපමනයි.මේ ඇස් වැහෙන්නට ඇරෙන්නට ගතවන්නට ඇත්තේ තත්පර කිහිපයක් පමණි.    " චටාස් "
ගාන සද්දෙට දෑස ඉබේටම ඇරුණෙ ඒ කම්මුල්පහර මට වැදුනාදැයි සැකහැර දැනගැනීමට. "දෙවියනේ මගේ පන්සිළු " අරුණිගේ කම්මුල්පහරින් මූණ අල්ලගෙන අප ඉදිරියේ බිම බලාගෙන.ඔහුගේ අත තදින් අල්ලගෙන සිටියේ තවත් ලස්සන කෙල්ලෙකි.

හඬන්නද...... කෑ ගසන්නද.......... හිත හැදෙනකම් ඔහුට පහර දෙන්නද මුහුදටම පැන මියෙන්නද......    මට ඔහු අහිමි කල ඇයව මරා දමන්නද ?

අදටත් මට මතකයි ඔබේ රුව, ඔබේ මුහුණ............ මගේ පන්සිළු අනේ මං ඔයාට තවමත් ආදරෙයි....... මං ඔයාට ආදරෙයි.........





උමතුවෙන්ලු මම
මතකය අමතක වූ
කාට කියන්නද  මම
නුඹ අමතක නැති වග
බෙහෙත් බොනවා මම
අමතක වූ මතකය ගන්නට
නැතිය මොහොතකටවත් මම
නුඹේ නම අමතකකොට
දොස්තර ඇවිත් බලනවා මම
දිනෙන් දින සුව කරගන්නට
උමතු නේවාසිකාවක්ලු මම
විරහව විඳගන්න බැරිවුණ
සිරවූ බිත්ති හතරෙ මම
නැහැව්වෙමි මගේ ලෙයින්
ආදරෙයි අනේ මං ඔයාට ආදරෙයි
අමතක කරන්නෙ කොහොමද මම
මගේ එකම ආදරේ
............  ෴ ..........

9 comments:

  1. //..කාට කියන්නද මම
    නුඹ අමතක නැති වග..//

    දුකයි ඒත් හුගක් ලස්සනයි අක්කි කතාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ....

      Delete
  2. හොදයි
    දුක හිතෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. බොාහාම ආදරයෙන් පිළිගන්නවා ඔබව.... ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ...

      Delete
  3. ලස්සනයි කතාව...ගොඩක් දුක හිතෙනවා.....ඒ උනත් ලස්සනට ලියලා තියෙනවා.
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තූතියි Chams.... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...

      Delete
  4. මෙහෙම දෙයක් තියෙනවා. කෙනෙක්ට ඕනවට වඩා ආදරේ කරනකොට එයා ගැන නරකක් හිතෙන්නේ නෑ. කොටින්ම ඔය පන්සිළු තව කෙල්ලෙක් එක්ක යාළුයි කියන එක උනත් යටි හිත පිලිගන්නේ නෑ. යටි හිත හිතන්නෙම ඒ වෙන කෙනෙක් ය කියලා.

    තව දෙයක් තියෙනවා. එයාට පංචාලිව ඕන නැති නිසා ගියා නම් පංචාලිත් හිත හදාගන්න එයාව එපාය කියලා. හිත හදාගන්න එක ගොඩක් අමාරු උනාට ඒක කරන්නම වෙනවා පංචාලි !!!

    වැදගත්ම දේ තමා පංසිළු, පංචාලිව දාලා ගියේ පංචාලිගේම වැරැද්දක් නිසා නම් ඒ වැරැද්ද හොයාගන්න !! තමන්ම ඒ වැරැද්ද හදා ගන්න. ඊලඟට ආදරේ කරන කෙනාටත් ඒ වැරැද්ද වෙන්න දෙන්න එපා !!

    මේක සිතුවිල්ලක් විතරමයි ද ???

    ReplyDelete
  5. අනේ අද දැක්කෙ සිතූ මේ කථාව.හුගාක් දුක හිතුනා.ඔයා ලස්සන‍ට ලියල තියනවා.

    ReplyDelete