Saturday, June 30, 2012

පරම පැතුම මගෙ ආදරේ......

හදේ ගැඹුරුම තැනක හිඳ මා
                               කරමි තව තව ආදරේ
    පැලෙමි හදවත නුඹේ නමින් මා
                   සෙනෙහෙ ගලායන ආදරෙන්
  නැතිය අරුතක් දන්නෙනම් මා
                             නුඹට දෙන මේ ආදරේ
     දනිමි නුඹනම් මගේ නොවන බව
                         එහෙත් සසරෙම  ආදරෙයි
    ඇගේ අතගෙන සොඳුරු සැදෑවක
                          හමු වූ ඔබයි මගෙ ආදරේ
      මගේ නොවුනත් කමක් නැහැ මට
                            ඔබයි පළමු මගෙ ආදරේ 
          වැළපුනෙමි හදවත දුක් විඳිමි තව තව
                    නොකෙරුවත් නුඹ මට ආදරේ
            සසරෙ කෙසේ හෝ නුඹ මගේම වේවා
                            පරම පැතුම මගෙ ආදරේ
            ............  ෴ ..........

Monday, June 25, 2012

නුඹ.......

රිදවන පාරන මේ හිත ගැන
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්
කප්පරකට දුක දුන්නත් නුඹ මට
ඒ ගැන අහිතක් මා නොහිතන බව
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්

ඇස් ගෙඩි ඉදිමී රතුවන තරමට
හඬමින් සසරෙම මා විඳවන බව‍
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්
ජීවිතයෙත් මිය යන මොහොතෙත් මම
නුඹ හට මිස ආදරෙ නොකරන බව
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්

Thursday, June 21, 2012

මන්ත්‍රී පුතාගේ උද්ධච්චකම බැස්සීම

         හැමදාම ආදර කවියක්, විරහව පිරුණු  කවියක් ,ආදර කථාවක් ලියපු මට හිතුණ පුංචි කථාවක් ලියන්න කථාවක් කිව්වෙ ඉස්කෝලෙ කථාවක් හැම කෙනාම  ඉස්කෝලෙ දඟවැඩ ගැන කියද්දි මමත් කමෙන්ට් එකක් දාන හැම තැනකදිම මටත් මතක් වුණේ මමත් කරපු දඟවැඩ තමා.ඒ නිසාම දඟ වැඩක්ම නොවුණට මේ කථාව බලලම ඔයාල කියන්නකෝ මොන වගේ එකක්ද කියල.විශේෂයෙන් ආදර අදෝනාවෙන් මිදුණු නිසා රෙප් මහත්තයටත් බලන්න පුළුවන් එකක් වෙයි කියලයි මට හිතුණෙනම්.මොනව වුණත් ලියන්න බැරි වුණත් කිවිඳියෙක් නොවුණත් කවි ලියන්නයි මමනම් ආස වෙනසකටත් එක්ක බලන්නකෝ කථාව....

          1වසරේ ඉදල A/L දක්වා මට පාසල් 3කට යන්න සිදු වුණා..දඟවැඩ නිසානම් නෙමෙයි ඔන්න 1වසරේ ඉදල 5 වසර වෙනකම් ප්‍රාථමිකයට ශිෂත්වයෙන් පාස්වෙලා 6 වසරේ ඉදල 12 වසර වෙනකම් පුංචි කා‍ලෙ කිව්ව වගේ ලොකු ඉස්කෝලෙට ආයෙත් A\L කරන්න වෙනම ඉස්කෝලෙකට (12 වසරේ අවුරුදු 2ක් ඉන්න වාසනාව හිමි වුණ එකම කෙනාත් මම වෙන්න ඇති...)දැන් ඉතින් අහන්නෙ එහෙම වෙන්නෙ කොහොමද කියලනෙ.එහෙනම් ඒකත් අහගන්නකෝ O\L වලින් පාස් වෙලා A\L කරන්න පටන්ගත්තා කොමස් වලින්A\L කරන්න මැයි මාසෙ පටන් අරන් මාස 6ක් ඉද්දි ජනවාරි වල ස්පෝට් මීට් තියෙනවනෙ පුංචි කාලෙ ඉදන්ම තියෙන ක්‍රීඩා පිස්සුව (100m / 200m /කඩුළු /නෙට්බෝල්/වොලිබෝල්/එල්ලේ ඇගේම තිබුණෙ , පුංචි කාලෙ 11.13.15.17.19.21 පහළ හැමදාම පාසලේ ක්‍රීඩිකා ශූරතාවය championship උස්සන්න මට පුළුවන් වුණා)හොද වෙන්නෙ මේ ස්පෝට් මීට් එකෙන් කඩුළු පනින්න ගිහින් කකුල කඩාගන්නවා.මාස 5ක් විතර ඉස්කෝලෙ යන්න බැරි වෙනවා.ආයෙත් මාස 1.5 ක් 12 වසරට ගියත් මෙලෝ දෙයක් දන්නෙ නෑ.ඒ වෙද්දි පියාගේ රැකියාවේ මාරුවක් නිසා වෙන පලාතකට මාරු වෙන්න සිදුවුණ නිසා.අළුත් පාසලට ඇතුලත් වෙද්දි මෙඩිකල් දුන්නම ආයෙමත් 13වසරට නොගිහින් 12 වසරෙ මුල ඉදලම පටන් ගන්න හම්බ වුණා.ඕක කියන්නද ඔච්චර දුර ගියේ කියල හිතන්න එපා.මම කරපු දේවල් දැන ගන්නයි කිව්වෙ ඉස්සරහට රස කථා බොහොමයක් ඔය වටපිටාවෙන් නැගෙන නිසා..

              දැන් ඔන්න කථාව.ලොකු ඉස්කෝලෙ දෙයියනේ කියල වැඩ කරගෙන ක්‍රීඩාවත් සමබරව තියාගෙන කරගෙන යද්දි 8 වසරෙදි අපේ පන්තියට එනවා ටිකක් සල්ලි වලින් බර සල්ලි ඇගෙන් විසි වෙන තඩි මහත පොරක් 8 වසරේ තුන්වෙනි වාරෙදි විතර..අපොයි දැක්ක දවසෙ ඉදල මට දිරවන්නෙ නෑ..මේ දවස්වල මම දඟ කෙනෙක් නොවන නිසා ඔළුවෙන් ඉන්න අයට ටිකක් කැමති නෑ.අහිංසක පාට් එකක්නම් හිනා වෙලා කථාකරල දන්න දෙයක් කියල දීල මමත් අහිංසක නිවුන චරිතයකට වගකිව්වා.අළුතින් ආපු පොර ගැන පන්තියෙ ටිකක් කසුකුසු යනව වැඩියි. පන්තිභාර ටීචත් ඕනි දෙයක් දැන් මූට තමයි කියන්නෙ.ඔක්කොටම වැඩිය පන්තිභාර මිස් වැඩියම ආදරේ මට මෙයා එන්න කලින්.මිසුත් දැන් එන්න එන්න මෙයාගෙ පැත්තට වැඩි නිසා සතියක් දෙකක් බැරිම තැන පන්තියෙ ඉන්න කොල්ලෙක්ගෙන් ඇහුවා අළුතෙන් අපු කෙනාට ඇයි ඔයාල ඔච්චර බය කියලා.මු කියනවා එයා මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක්ලු.දැනුයි මට වැඩේ තේරුණේ.මෙයා මේ අලි පාට් එකෙන් ඉන්නෙ තාත්ත මන්ත්‍රී නිසා. හග්...හරියට නිකම් මෙයා මන්ත්‍රී වගේ .ඔය ලොකුකම් මට දිරවන්නෙ නෑනේ..මම නෙවෙයි සත පහකට ගණන් ගත්තේ

               පුංචි කාලෙනෙ වැඩිය ඕව තේරුමකුත් නෑනෙ අපිට. ඒත් ඉතින් මේකා සල්ලි දීල තමයි ළමයි ලවා හැමදේම කරව ගන්නෙ.පිට්ටනියට ගිහින් පන්තියට ආවම සපත්තුවෙ දූවිලි නම් කොල්ලෙකුට කියනවා සපත්තුව පිහිදාන්න සල්ලි දෙනව කියල. ඇත්තටම පිහිදැම්මම තඩිබඩා සල්ලි දෙනවා.මටනම් ඒකට හරි තරහයි.පිහිදාපු එකාට අනිවාර්්‍යයෙන් මම පස්සෙන් ගිහින් බනිනවා.ලැජ්ජ නෑනෙ සපත්තු පිහිදාල සල්ලි ගන්න කියල.කෑම ගේන්න කැන්ටිමට යන්නෙ නෑ කාට හරි කියල ගෙන්න ගෙන ඉතුරුවා තියාගන්න කියනවා.පන්තියෙ ඉන්න කොල්ලො වගේම කෙල්ලොත් ඒකටනම් හරිම කැමතියි.පුංචි ළමයිනෙ කීයක් හරි ලැබුණම රජ සැප ලැබුණ වගේ ඒකෙත් කනවම තමයි වෙන දේකට නෙමෙයි.පන්තිය අතුගාන්න තියෙන දවසට එයා එන්නෙ පරක්කු වෙලා.ඉස්සෙල්ල දවසෙ ළමයෙකුට සල්ලි දෙනවා අතුගාල තියන්න කියලා.ඔන්න ඔය වගේ වැඩ නිසා ඇත්තටම මට එයාව දිරවන්නෙම නැති වෙලා.මගේ රෙස්පට් එක කියල කොල්ලොත් එක්ක තඩිබඩා කියනවලු හැම ළමයම හොඳයි අරකි තමයි මට පෙන්නන්න බැරි කියල.කොහොමින් කොහොම හරි 9 වසරටත් දැන් අපි ආව කියමුකෝ අර කොල්ලට මාවත් මට එයාවත් පෙන්නන්නම බෑ.

       දවසක් උදේ පාන්දර මට අතුගාන්න තිබුණෙ පන්තිකාමරය.පුරුද්දක් වශයෙන් පුංචි දවස් වල ඉදලම උදේ පාන්දර ඉස්කෝලෙ ආවත් පන්තියට එන්නෙ 8ට 5ක් විතර තියලා.පාසලේ ක්‍රීඩා ගුරුතුමිය ක්‍රීඩා කරන අයට උදේ පාන්දර ප්‍රැක්ටිස් කරවනවා.6ට ඉස්කෝලෙට ඇවිත් පැය 1.5 ක් විතර ප්‍රැක්ටිස් කරල වොෂ් කරල යුනි‍ෆෝම් දාගෙන පන්තියට යද්දි ඉතින් 8ට 5යි හැමදාම අතුගාන්න තියෙන දවසට පත්තිභාර ගුරුතුමියගෙන් හැමදාම මට බර බරේ..එදාට ප්‍රැක්ටිස් යන්න එපා කියල.කොච්චර කිව්වත් මම ඒකනම් කලේ නෑ.එදා ඉතින් උදේ ටිකක් වැස්ස දවසක් මම දඩිබිඩියේ පන්තියට එද්දි විනාඩි 15ක් තිබුණා 8 ට . වැස්ස දවසට ආගමික වැඩ කරන්න යන්නෙ නෑ එළියට පන්තියෙ ඉදන්මයි ආගමික වැඩ කරන්නෙත් ඒ නිසාම ඉක්මණින් අතු ගාන්නත් ඕනි.දුවල එද්දි අතුගාන අනිත් ළමයි දෙන්නම ඇවිත් නෑ.ඉක්මණින් ළමයි එහෙට මෙහෙට කරල දඩිබිඩි ගාල පන්තිය අතු ගාගත්තා. තනියම කුණු ටිකත් එකතු කරද්දි බෙල් එක වැදුණා.බෙල් 3ක් වදිනවා 3වෙනි එකේදි තමයි ගාථ කියන්නේ.වෙලා තියෙන නිසා කුණු ටික දාල එන්න පුළුවන්නේ කුණු බාල්දියත් අරන් වේගෙන් දුවල ගියා.අපි හිටියෙ පන්ති කාමර 5ක් දාල තියෙන එක හෝල් එකක් වගේ කෑල්ලක.පන්ති පහටම පහේම කරන කියන දෑ පේනවා.අයිනෙම පන්තියෙ ඉදන් පන්ති 4 රක් පහු කරන්න යන්න ඕනි කුණු දාන්න. 

කොට බිත්තියට හේත්තු වෙලා හිටපු අර තඩියා මම දුවල යද්දි දැම්මෙ නැතැයි කකුල...

දඩාස්......


මම වැටුණ නිකන් අලිය පොලේ ගැහුව ගාණට.වැස්ස දවසෙ නිසා ළමයි පාගල පාගල මඩ ගැවුණු සිමෙන්ති පොලවෙ..

ළමයි එක හූවට හූ තියෙනවා මට.  ගෙනිච්ච කුණු මූණෙ,ගවුමෙ ගෑවිච්ච මඩ, හූව මැදින් අමාරුවෙන් නැගිට්ට මම සැනකින් දඩාස් සද්දෙටත් වැඩියෙන් චටාස් සද්දෙ කැපිල යන්න තඩියගෙ කන පුරෝල දුන්නා

 චටාස්.....

               මගේ දිග ඇගිලි 5ම කම්මුලේ හිටින්න.තත්පරයකට මුළු හෝල් එකම නිහඬ වුණා.නමුත් ළමයි බය වුණ තඩියගෙ ගෙම්බර් බහින්න මම දුන්න කම්මුල්පහර නිසා ආයෙත් ළමයි තඩියට දැන් හූ තියනවා.තඩියත් ලැජ්ජාව වහගන්න ඇල්ලුව මගේ බෙල්ලෙන් ඉස්සුව මාව උඩට. උස වුණාට කෙට්ටු ශරීරයක් තිබුණු මාව සරුංගලේ වගේ දැන් උඩ බෙල්ලත් හිර වෙලා කකුල් පොළවෙන් උඩ.තඩිය අතාරින් නැති පාටයි.උස්ම හිරවෙනවා මට දැනෙනවා.මරණබියත් දැනෙනවා.හිතුණෙම මැරෙයි කියල.කොච්චර දැගළුවත් ඇතෑරියෙ නෑ.උඹ දන්නවද මම කවුද කියල මම ......... මන්ත්‍රීගෙ පුතා අරවයි මේවයි ලොකුකම. මම බිමින් තියල කියපියකො ඔය ටික. දැන් මුළු ඉස්කෝලෙටම ඇහෙනව හූව පන්තිභාර මිස්ල සාරි කරේ තියන් පන්තිවලට දුවල එනවා.තඩිය නෙමෙයි ඒත් ඇතෑරියෙ මාව..මිස්ල තමයි මාව බැස්සුවෙ.කැස්සත් එක්ක මම බිමට එද්දි මූණ ජම්බු ගෙඩිය වගේ..


              අපි දෙන්නව සැනකින්ම දැම්ම මහ අධිකරණයට ප්‍රින්සිපල් විභාග කරලා දුන්න නඩු තීන්දුව දෙන්නටම ඔෆිස් එක ලග දණගහන්න පැය 1.5ක් දෙන්නව දෙපැත්තක හැබැයි මූණට මූණ බලාගෙන.තඩිය ඒත් ප්‍රින්සිපල් ‍හරි මිස් කෙනෙක් සර් කෙනෙක් පේන්න නැත්තම් මට කියනවා මම  තෝ හෙට වෙන්න කලින් තාත්තට කියල ඉස්කෝලෙට එන්න දෙන්නෙ නෑ කියලා.මේ සිදුවීම නිසා අම්ම මාව සතියක් විතර ඉස්කෝලෙ යැව්වෙ නෑ.මොනව වුණත් මට තඩියවත් කරදරයක් කරයි කියලා.එදා ඉදල මමත් අහිංසක නෑ. ඒකෙන් තඩියගෙ උද්ධච්ච කම බින්දුවට මට බස්සන්න පුළුවන් වුණා.කාලයක් යනකම් කොල්ලො තඩියට ගෑණු ගුටිය කියල නමකුත් තිබ්බා.හැමෝටම ඒ සිදුවීම අමතක වෙනකම් විතරයි ඒනම කිව්වේ.

හැබැයි ඒ තඩිය පස්සෙ කාලෙදි ඒ කියන්නෙ 10වසර වෙද්දි මගේ හොඳම යාළුවා වුණා.මට තඩියවත් තඩියට මාවත් නැතුවම බැරි තරම් සහෝදරත්වයක් අපි දෙන්න තුල ඇති වුණා.තඩිය ඇත්තටම හොඳ යාළුවෙක්.එයාගෙ උද්ධච්චකම මම බැස්සුවෙ නැත්තම් එයා මගේ හොඳම යාළුවා වෙන එකක් නෑ කවදාවත්.එයා කාපු බීපු දේ පවා මට දීල කන්න තරම් අපි යාළුවො වුණා.එයා මගේ හොඳම යාළුවා ගයි....මට තරහ ගියාම නම් ඔය නමට තව අකුරක් එකතු වෙලා සවුන්ඩ් පොඩ්ඩක් වැඩිවෙලා කියවෙන්නෙ ග.....යි....යා.....එහෙමත් නැත්නම් ග....යි....යෝ..එයානම් මට කියන්නෙ කොච්චි මිරිස් එහෙම නැත්නම් මගේ මුල් නම......

ඉස්සරහට අපි දෙන්නා ප්‍රමුඛ පිරිසගේ අංචි වැඩ බලාපොරොත්තු වන්න....

Tuesday, June 19, 2012

දෙනෙතට මට නින්ද දෙන්න......

නුඹෙ මතකය වැලිතලාවෙ
සැඟව යන්න ඉඩතියාන
මට පොඩ්ඩක් නිදාගන්න
ඇස් දෙක වෙත යළි නොයෙන්න

දෙනෙත පියන හැම මොහොතක
අනේ එතින් එපා එන්න
හැර ගියසේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න

ලොව නිදනා නිසල රැයේ
සිව් මසකින් නිසා නොගෙන
සුසුම් හෙළනවා හැම රැය
නුඹෙ මතකය යවා ගන්න

රිදවා මා ගියාට නුඹ
හදවත ඉකි ගසනව තව
ගියා වගේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න
 ............  ෴ ..........

Friday, June 15, 2012

බලා හිඳිමි මේ නුඹ එනතුරා.......


එක් දිනක් නම් ගෙවුණා
ඔබ නැතිව හිත ඉකිගසා
දිනක් නොනිඳා හිඳින්නයි ඔබ
කියා මට කොහිදෝ ගියා
සැඟවුණේ කොහිඳ මට නොකියා
බලා හිඳිමි මේ නුඹ එනතුරා


ගං දියරැලි කියයි නුඹහට
නිල් අහස ගිගුරුම් දෙයි එදිනට
ඔබ ඇහුවොත් ආදරෙයිදැයි ඔබහට


ගං දියරැල්ලක්වත් වුණානම් ඔබ
මා වෙත ඇදී එනතුරු ඉන්න තිබුණා
සිහිල් සුළඟක් වුණා නම් ඔබ
ගතේ වෙලාගෙන ඉන්න තිබුණා
පොද වැස්සක් වුණා නම් ඔබ
ගතම තෙමාගෙන ඉන්න තිබුණා
හිත ලගින්වත් හිටියනම් ඔබ
දෑස පියන් ආදරේ විඳින්න තිබුණා
                                          

Wednesday, June 13, 2012

මමයි ඉපදුණු කුළුඳුල් දියණිය මවට.......


                                           ලෝකයම සුව නින්දක
                             නුඹ පමණක් වේදනාවක
                             එදා අඳුරු මහ රාත්‍රියක
                             බිහිකලා කුළුඳුල් දියණියක

                             රාත්‍රී පසුවී දොළහයි දහයට
                             නිම්හිම් නැති වේදනාවක් කුසට
                             එක්කරමින් මව් පදවිය නුඹට
                             මමයි ඉපදුණු කුළුඳුල් දියණිය මවට

                             වේදනාවේ අඳුරු නිම්පෙතට
                             කෑ ගසමින් නුඹේ හඬ මිහිතලයට
                             විඳගනිමින් දරු දුක මහමෙරකට
                             බිහිකලා දියණියක් පියාණන්හට

                             අදයි පළමුව මවක් වූ දින
                             සතුටින් මතකයට ගනිමින් එදින
                             වෙනදා මෙන් අදත් උදෑසන
                             මා හිස සිඹිමින් සිහිකලා උපන්දින

                             නුඹයි මගේ පණ සසර පුරාවට
                             පතමි පාරමී සෙනෙහසේ නාමෙට
                             මගේ ආයු ගෙන දිගුකලක් හිඳින්නට
                             හැකිවේවා මගෙ ආදර අම්මාට.......



මේ ඉන්නෙ අම්මගෙ පුංචි කෙල්ල මාස 3 දී..

Saturday, June 9, 2012

මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත......

පෙර දිනක සනසාලූ හදවත
එක් දිනක හඬවාලූයේ ඔබ
මතකය අමතක කරන්න
පින්සිදුවෙයි ඈතට යන්න ඔබ

රිදුම්දෙන හිත ඉකිගසන දෙනුවන
සනසවාලන්න ඔබ නැත මා ලඟ
හඬන මගේ හිත සනසවාලන්න
මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත

ලෝකයම කීවත් නොහඬා හිඳින්නට
මට හැක ඒ දෙය එලෙස කරන්නට
ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත
............  ෴ ..........

Wednesday, June 6, 2012

කිවිඳියක් නොවූ නුඹේ කවිකාරිය.....

අනේ මගේ කවිකාරිය
කියන විට ඔහු මා ගැන
දුක හිතෙනවද සතුටු හිතෙනවද
මමත් තවම දන්නෙ නෑ
නොවෙන නිසා මා කවිකාරිය.....

ලීවත් එහෙට මෙහෙට කර
වචන ගලපමිනි හිඩැස් අතර
පුංචි පුංචි පදවැල් එකතුකර
ලීවත් ආදරේ රසබර
මා නොවෙයි ඔහු හිතෙන තරමට කවිකාරිය.....

නිදහසක් නැති මා මනසට
වෙහෙසකර මගේ දෙනෙතට
එකම සැනසුම මගේ හිතට
කවි ලියන එක විතරයි නුඹහට
එහෙත් මා නොවෙයි මහා කවිකාරිය.....

ලියූ දහසක් කවිපද
නුඹ නමට අකුරු ගැලපුවද
හැඩ නැතිමුත් කැතද බලනවද
නුඹට මා ගැලපූ කවිපද
කිවිඳියක් නොවූ නුඹේ කවිකාරිය.....

කොතරම් ලීවත් පන්හිඳ
මහා කිවිඳියෙක් නොවෙයි මා අද
නුඹට පමණක් කවි ලියන නුඹේ පුංචි කවිකාරිය....

Saturday, June 2, 2012

උපමාවක් නැති සැබෑ ආදරේ (අවසාන කොටස)

උපමාවක් නැති සැබෑ ආදරේ බැලුවෙ නැත්නම්




ඉතාමත් වෙහෙසකර ලෙස රෝහලෙන් සන්ධ්‍යාව පිටතට ගන්නට කුමාරටත් කුමාරගේ යහළුවාටත් හැකිවිය.කෙසේ හෝ ඇය රැගෙන යන බලාපොරොත්තුව  ඔහුගේ සිතේ තිබෙන්නට ඇත. එය ඉටුකර ගැනීමට ඉතා වෙහෙසක් දරණ්නට සිදු වුවද එය ඉතා පරිශ්‍රමයෙන් සිදු කරනුයේ රෝගාතුරව සිටින සන්ධ්‍යාට තවත් දුකක්නම් නොදෙන්නට වග බලා ගනිමින්.රෝහලින් පිටව යන්නට ගිය කුමාරටත් සන්ධ්‍යාටත් තව තවත් දෛවය සරදම් කරන්නේ ඇයිදැයි නොහැගේ.රෝහලේ ප්‍රධාන දොරටුව අභියසින් පැමිණෙන සන්ධ්‍යාගේ අයියලා දෙදෙනෙක් මුහුණට මුහුණ මුණ ගැසෙන්නට ප්‍රථම ඉක්මන් වූ කුමාරගේ යහළුවා සන්ධ්‍යාගේ අයියලා මුණ ගැසී කථාකරන්නට සැරසුනේ ඔවුන්ගේ අවධානය වෙනතක යොමු කරන්නට වගේම සන්ධ්‍යාට හා කුමාරට මෙතනින් පලා යන්නට.අයියලා සමග කෙටි කථාබසක නියැලුණ කුමාරගේ යහළුවා ඉක්මණින් පා තැබුවේ කුමාර හා සන්ධ්‍යා ඔවුන් මග හැර ගිය දිසාව ඇසින් දුටු නිසාවෙනි.


රාජකාරිය දේවකාරිය මෙන් අකුරට ඉටුකල යහළුවානම් සෑබෑ යහළුවෙක් බව නම් අමතක නොකල යුතුමය.අසනීප සන්ධ්‍යා රැගෙන වේගයෙන් දිවගිය කුමාරටද මහන්සියක් දැණුන නිසා වේගය බාල කලේ මට මේ තරම් අමාරුනම් මේ අහිංසකීට කොහොම ඇද්දැයි සිතමින්.මොවුන් දෙදෙනා පිටුපසින් දිව ආ යහළුවා ඉක්මණින් කුලීරථයක් සොයා මොවුන් දෙදෙනා ඊට නැග්ගුවේ යහළුකමේ අරුත නියමාකාරව පසක් කරමින්.කුමාරට සහ සන්ධ්‍යාට සුභ පැතූ කුමාරගේ යහළුවා නික්ම යන්නට ප්‍රථම මම එනකම් මම කියපු විදියට වැඩ කරපන් යැයි කුමාරට විදානයක ස්වරයෙන් අවසන් වචන කිහිපයත් යහළුවා වෙනුවෙන් අහසට මුදා හරිමින්

කුලී රථය ටික දුරකට වුවද සියල්ලන්ගෙන්ම නිදහස් වී තමාගේම ලොවක් තනා ගන්න යන ගමන ගැන දෙදෙනාම කම්පා නොවූහ.කුමාරගේ යහළුවා ඔවුන් දෙදෙනාට තාවකාලික නැවතුමක්ද සකසා දෙන්නට ඉදිරිපත්ව සිටි නිසා යහළුවාගේ තොරතුරුද රැගෙන කිසිම දාක සිහිනයෙන්වත් එන්නට බලාපොරොත්තු නොවූ ප්‍රදේශයකට පැමිණියේ සන්ධ්‍යාගේ දෙමාපියන්ගෙන් හා සහෝදරයන්ගේ ඇස් වලින් වසන් වෙන්නටයි.දිගු ගමනක අවසානය පුදුමාකාර වෙහෙසක් සන්ධ්‍යාට එක්කලේ තාමත් අසනීපව ඇය සිටි නිසාවෙනි.කරත්ත වල  කුලීරථ කිහිපයක ගමනේ අවසානය සිදු කලද දැඩි වෙහෙසකාරී බව සන්ධ්‍යාට දැනුනද කුමාර හට ඒ බව නොපැවසුවේ ඇය ගැන කරදර වේයැයි සිතමින්..

කොළඹට ආ සන්ධ්‍යාත් කුමාරත් අමුතුම ලොවකට ආවා සේ හැගුනේ ගමට වඩා නගරය කලබලකාරී නිසාවෙනි.යහළුවාගේ තොරතුරු මත ඔවුන් හට සපයා තිබූ තානායම සොයා ගැනීමට ඔවුන්ට මහත් වෙහෙසක් දැරුවද සොයා ගැනීමට නොහැකි විය.විස්තර අසා ගැනීමට කුලීරථ රියෙදුරෙක් ලග නැවතුණු කුමාර ආපහු හැරෙන විට දුටුවේ සිහි සුන් වූ සන්ධ්‍යාගේ සිරුර මහපොලොව මත වැටී තිබූ ආකාරයයි.මුවින් ගලායන ලේ පහරින් තව තවත් සන්ධාගේ ජීවිතය ගැන බියක් හිතේ එහෙ‍ මෙහෙ වෙද්දි ඉකිමණින් කුලී රථයේ  නංවාගෙන ලගම ඇති රෝහලක‍ට රැගෙන යන්න යැයි රියදුරාට කුමාර කීවේ හීනෙන් වගේ.රෝහලට යන අතර මගදිවත් සන්ධ්‍යාගෙන් හැල හොල්මනක් නැත. "සුදු මැණිකේ, සුදු මැණිකේ" කුමාර හඩමින් ඇය ඇමතුවාය.නැත ඇගෙන් පිළිතුරක්නම් නැත.

වහාම රෝහලට ඇතුලත් කල සන්ධ්‍යාට ප්‍රතිකාර සිදුකලේ ඇගේ ජීවිතේ අවධානම ගැන කුමාරටත් නොසෑහෙන්න වෛද්‍යවරයා දොස් පවරමින්.අහිංසක කුමාරද වෛද්‍යවරයා ඉදිරියේ දණින් වැටී සන්ධ්‍යාව සනීප කර දෙනමෙන් ඉල්ලීය.යන්නට තැනක් නොමැති කුමාර රෝහලේම අස්සකට වී රෑ පහන් කලේ කල යුතු වෙනත් දෙයක් නොවුන නිසාවෙන්.සන්ධ්‍යාගේ විස්තර මෙන්න මොවුන් දෙදෙනාගේද විස්තර කුමාරගෙන් දැනගත් වෛද්‍යවරයාටද මේ කථාවේ වේදනාත්මක බව දැනී මොවුන් දෙදෙනාට ඉන්න තැනක් පිළිසකර කර දීමට සැරසුනේ  ආදරය වෙනුවෙන්ද අහිංසක මේ ජීවිත දෙක වෙනුවෙන්දැයි මට තාමත් සිතා ගැනීමට නොහැකි විය.

රෝහලේ ප්‍රතිකාර ලබාගෙන අවසන් වූ ආදරණීය පෙම්වතුන් දෙදෙනාට දැන් ඉන්න තැනක් තියෙනවා.සතුටුයිද? ඔයාගෙ සතුට මට පේන්නෙ නෑ අනේ මටනම් ගොඩක් සතුටුයි? වෛද්‍යවරයාගේ යහළුවෙකු වන නීතිඥවරයෙකුගේ ඉඩමක පුංචියට ලෑලි ගේ පොඩිත්තක් සකසා දෙමින් මේ ආදරේට රුකුලක් දුන්නේ මිනිස්කමේ මහිමයද කියාපාමින්.වලි කාගෙන කොහොමහරි බලාපෙරොත්තු ඉෂ්ඨකර ගන්නට මේ දෙන්නට හැකි වුණා.දැන් එකම වහලක් යට මේ දෙන්නා ජීවත් වෙනවා.කුමාරත් කුලීවැඩ කරමින් හෝ කීයක් හරි හොයාගන්නේ සන්ධ්‍යාගේ බෙහෙත් සදහා ලොකු වියදමක් දරන්නට සිදු වන නිසා.සැරින් සැරේ අසනීප වෙන සන්ධයාට බෙහෙත් කරන්නට මෙන්ම මාසිකව ගෙදරට අවශවන දෑ පසයා දෙන්නට වෛද්‍යවරයාද අමතක කරන්නේ නෑ.

දැන් කුමාරටත් සන්ධ්‍යාටත් වයස අවුරුදු 80වකට ආසන්නව ඇත.සැරින් සැරේ රෝගී වුනත් සන්ධයාගේ ජීවිතය කොහොමහරි රැකගන්න කුමාරද වෙහෙසී වැඩකලාය.අවුරුදු 40ක පමණ කාලයක් සන්ධ්‍යා දියර වශයෙන් ආහාර ලබා ගත්තේය.එහෙත් දැනට අවුරුදු 15ක පමණ සිට සුප් වතුර පමණක් ආහාරයට ගත් ඇය අවුරුදු 5ක පමණ සිට කිරි පමණක් ආහාරය වෙනුවට ගන්නට තරම් ඇය රෝගී වී ඇත.ශරීර අභ්‍යන්තරයේ සිදුවූ පිළිස්සීම් නිසා මවක් වීමට පවා නොහැක වීම ගැන ඇය බොහෝ සේ තැවෙන්නීය.කිරි පමණක් ආහාරයට ගන්න නිසා සන්ධ්‍යාගේ මුඛයේ සිට දමා ඇති කෘතිම නල මසකට වරක් සුද්ධකිරීමට සිදුවන්නේ කිරිකහට නලය අවට බැදීම නිසාවෙන් බවයි වෛද්‍ය මතයනම්.ඈ මෙපමණ කලක් ජීවත් වීම ගැන ඔබටත් විශ්වාස කිරීමට අපහසු ඇති.මේ වන තුරුම තම සැමියාට ආහාර සකසා දෙන්නේ ඇගේ අතින්මයි.අවුරුදු 60-55 ක පමණ කාලයක් ආහාර නොගත් ඇය සැමියා වෙනුවෙන් ඒ කටයුත්ත මැනවින් ඉටුකරන බව ඔහුද පවසන්නේ කඳුලු සලමින්.එය ඇසූ මගේ නෙතටද කඳුලු ඉනුවේ මේ පුදුමාකාර ආදරේ වෙනුවෙන්.

බොහෝ සෙයින් වියපත්ව සිටින මේ දෙදෙනාව බලාගැනීමට අසල්වාසීන් සිටියද හැම වෙලේම කරදර කරන්න බෑ කියන කුමාර තාමත් ගල්වැඩපලක වැඩ කරන්නේ රෝගාතුරව සිටින ආදරණීය බිරිඳ තව දිනක් හෝ ජීවත්කරලීමට.එහෙත් ඔහුගේ ප්‍රාර්ථනය වන්නේ නම් ඇයව ඉක්මණීන් මිය යන්නේනම් හොදයි යන්නයි ඒ ප්‍රාර්තනය ඔබට හිතේ කේන්තියක් එක්කලද ඇයව දුටුවහොත් ඔබටත් එය සිතෙනු නොවනු මානයි.ජීවිතේ අන්ත අසරණව දුක් වින්ද ඇය තවත් දුක් විඳිනවා බලන් ඉන්න බැහැ‍.අනේ ඇය මියයනවානම් හොඳයි ඒ කුමාරගේ එකම ප්‍රාර්ථනයයි.එමෙන්ම කිසිදු ආත්මයක යළි ගැහැණු ආත්මයක්නම් ඇයට නොලැබේවා යන්න ඔහුගේ ඒකායන ප්‍රාර්ථනයයි..පිරිමියෙක් ගැහැණියක් වෙනුවෙන් කරන්න පුළුවන් එකම විවරණය මෙයයැයි මගේනම් මතය.

එහෙත් ඇයනම් ඇගේ ජීවිතය ගැන කිසිම විදියකින් කලකිරෙන්නේ නැති වගයි මා සමගනම් පැවසුවේ.ඇය එදා වගේම ඔහුට මෙන්ම ආදරයටද එදාටත් වැඩිය ආදරය කරන්නීය.පුදුමාකාර ආදරයක් මටනම් ඇය ගැන ඇත්තටම පුදුමයි.සංසාරගත බැදීමකින් හමුවූ මේ පෙම්වත් යුවල අදටත් පුදුමාකාර ආදරේකින් සෙනෙහසකින් ජීවත් වෙනවා පුංචි ලෑලි ගෙදරක කටුනායකට නුදුරු පුංචි ගමක.ඔයාලට ප්‍රශ්නයක් ඇතිවෙයි මේ දෙන්නගෙ ගෙවල් වල අය ගැන.සන්ධ්‍යාගේ පවුලේ උදවියනම් සන්ධ්‍යා මැරුණා යැයි කියමින් ජීවත්ව සිටින ඇයට 7 දිනකින් දානයද දී ඇයව පවුලෙන්ම ඉවත්කර ඇතිබවයි මටත් දැන ගන්නට ලැබුනේ.දැන් මේ දෙන්නාට අවුරුදු 80ක් හෝ ඊට ආසන්නව ඇති නිසා ඒ වයසේ නම් දෙකක් තමයි මේ දෙන්නට තියෙන්නේ.

සන්ධ්‍යා සහ කුමාර යනුවෙන්  උපකාර කල කුමාරගේ යහළුවා.මොවුන් දෙදෙනා වෙනුවෙන් උපකාර කල  වෛද්‍යතුමාගේ මිතුරාට සහ වෛද්‍යවරයා,  එතුමාගේ දරුවන් පිරිස (අදටත් පුලුවන් හැමවෙලේම සොයා බලමින් උදවු කරන)  අසල්වාසීන්ට මාගේ ප්‍රණාමය......

මමත් මේ දෙන්නව බලන්න යන්න අමතක කරන්නෙම නෑ.පඩිය අතට ගත්තුගමන් කිරිපැකට් දෙකකුත් අරන් මේ සීයයි අච්චි අම්මවයි බලන්න යන්න අමතක කලේම නෑ එහෙත් මාස 2-3 යන්න බැරි වුණ නිසා හිතට පුංචි බයකුත් තියෙනවා.අවසාන දවස් ටිකේ ආච්චි අම්මා ගොඩක් අසනීපයෙන් සිටි නිසා..මමත් දැන් අවුරුදු 2ක විතර ඉදලා මේ දෙන්නගේ දුක සැප බලන්න අමතක කලේම නෑ වැඩ රාජකාරී අධික වූ නිසා යන්නම බැරි වුණා.සනීපෙන් ඇතැයි නම් සිතන්න බෑ.තවත් අසනීප වෙලා ඇති.මගේනම් ප්‍රාර්ථනය ජාති ජාතිත් ඉපදෙනවානම් මෙවැනි බාධක නොමැතිව ඔවුන් ඔවුන්ගේම වී යළි ඉපදෙන්න කියා.

ලිවීමේදී ඇති වූ වැරදි අඩුපාඩුකම් නිසා කියවීමට අපහසුවක් වුණානම් ඒ වෙනුවෙන් සමාවන්න...

කථාව බැලූ ඔයාලා වචනයක් නොකිය යන්න අමතක කරන්න එපා.