Tuesday, July 31, 2012

අවසරයි නික්මෙන්නට ටික දිනකට......


ඕන් යාළුවනේ හිතේ ටිකක් දුක තියාගෙන 
            මූණෙන් ඒක චුට්ටක්වත් නොපෙන්වා ලියන පෝස්ට් එකක් මේ 

උසස් පෙළින් පස්සේ  දෙයියනේ කියල සිත්තමී කෙල්ල මේ කරන්නේ 4 වෙනි ජොබ් එක.උසස් පෙළ කරල නිකන් ජොලියට වගේ පොඩි ජොබ් කට්ටක් කලා සල්ලි හොයන්නම නෙමෙයි ගෙදර ඉදන් උයන්න වෙන කම්මැලිකමට හික්ස්.......ඔන්න ඔන්න හිනා වෙන්න එපා කට කැඩිච්ච කථා කියන්නත් එපා සිත්තමී කියන්නේ ‍දෙයියනේ කියලා ගැහැණු ළමයෙකුට අවශ්‍ය වෙන සියළුම දේවල් අංග සම්පූර්ණව අවුරුදු 18 වෙද්දී තම මෑණියන්ගෙන් ශිල්ප හදෑරූ අම්මට පමණක් කීකරු (නැත්නම් ගුටි හම්බවෙනවනේ) අප්පච්චිට හුරතල් වෙන (තාමත්) ගැහැණු ළමයෙක්.

හ්ම් ආව මෙතන හිනා වෙන්න....

ඉතින් අහන්නකෝ පළවෙනි ජොබ් එක කලේ සල්ලි හොයන්න නෙමෙයි හුදෙක් ගෙදර සිටීමේ කම්මැලිකමට සහ උයන්න වෙනවාට.රෙදි කඩේක (හික්ස් පොඩි එකක් නෙවෙයි මහල් 4ක ටිකක් විශාල එකක්) සේල්ස් තමයි මගේ කුළුදුල් රැකියාව වුනේ...පුංචි කාලෙ ඉදන්ම රුව ඇති දුවයි කට ඇති දුවයි දෙකම එකට පිහිටපු මට සේල්ස් ජොබ් එකක් හරි සිම්පල්.ඉරිච්ච ඇදුමක් හරි කස්ටමර් කෙනෙකුට කට නිසා දෙන්න පුළුවන් කියන්නේ ඒක හැකියාවක්.හික්ස් ඔන්න ඔහොමයි පළමු ජොබ් එක. ඒක අප්පච්චිගේ පූර්ණ අකමැත්ත යටතේ සිදු වූ ජොබ් එකක්...මාස 3ක කාලයක් පුංචිම මුදලකට ලොකු වැඩ කොටසක් කල ඒ ආයතනයේ වයසින් බාලම කෙනා විදියට ලොකු තැනකුයි ලොකු නමකුයි තියල ඒ රැකියාවට සමු දුන්නා....

මම ආසම නිදහසේ හැම දවසකම අළුත් දෙයක් කරන්න පුළුවන් ජොබ් එකකට..ඒ නිසා පුංචි කාලෙ ඉදලම නිදහස අගය කල මට ඉදිරියට යන්න සුදුසුම මාර්ගය විදියට මම ‍තෝරගත්තේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න.උසස් පෙල දෙවනි වතාවට කරන්න ගෙදරින් බලකලත් මට කරන්න කිසිම වුවමනාවක් නොතිබුණ නිසා දෙයියනේ කියල මම ආසම පැත්තෙන් ඉදිරියට යන්න ඕනි තැන් සකසා ගන්න පාඨමලා කිහිපයක් හැදෑරුවා.පාඨමාලා හදාරන ගමන් මගේ දෙවනි රැකියාවට මුල්ගල තැබුනේ ස්ටූඩියෝ එකක් ෆොටෝ එඩිටින්.ඒකත් අවුලක් නැතිව කලේ හැම දවසෙම අළුත් දෙයක් නිසා.ඒකෙ ඉදිද්දි අළුත්ම දේකට අතගැහුවා  ඡායාරෑපශිල්පය අළුත්ම දෙයක් වුණාට ආසවෙන් කලා.ඒකෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා.ඒ ජොබ් එකෙන් අයින් වෙද්දි තනියම වෙඩින් 2ක ෆොටෝ අරන් ඇල්බම් 2කත් ඩිසයින් කරන්න මට වාසනාව ලැබුණා.ඒ නිසා ඒ ගැනත් පරතෙරටම නැති වුනත් වැඩක් කරගන්න පුළුවන් අත්දැකීමක් තියෙනවා.

තුන් වෙනි රැකියාවට පය තියද්දි පාඨමාලා සියල්ලම අවසාන වෙලා තිබුණා.ඒ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිය‍ට ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක වැඩ කරන්න.ජොබ් එකට ආස නිසාම ඒ ජොබ් එක කලා නමුත් මගේ ජීවිතේ මට හම්බවුණ නපුරුම මිනිසුන් පිරිස වැඩ කලේ ඒ ආයතනයේ.ආයතන ප්‍රධානියාගේ සිට අවසාන දක්වා එක්කෙනෙකුට එක්කෙනනෙක් පහත් කරන අය අතරේ ඉගන ගන්න ‍ආසම නිසා අවුරුද්දකුත් මාස2ක් පමණ වැඩ කලා ඉතාම අඩු මුදලකට.නමුත් ජීවිතේට ගත් අත්දැකීම් රැකියාවේදී එතනින් ගත් අත්දැකීම් මට මුදලට වඩා වැඩි නිසා හිත හොදින් ඉවත්වුණා.

හතරවෙනි රැකියාවත්  ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිය‍ට ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක.මම මේ තැන හදුන්වන්නේ දිව්‍යලෝකයක් ගානට විටෙක අධික ලෙස වැඩ වැඩි වුනත් නිදහසේ රැකියාව කිරීමට කිසිම බලපෑමක් ඇති වුනේ නෑ.පඩියටත් වඩා වැඩ කිරීම මගේ පුරුද්දක්.ඒක මගේ අප්පච්චිගෙන් ලැබුණ දෙයක්  ආසාවෙන් වැඩ කරන නිසා මම මේ ආයතනයට පුදුමාකාර විදියට ආදරේ කරනවා.මගෙන් ඉටුවිය යුතු සෑම අංශුවක්ම මේ ආයතනය වෙනුවෙන් මම කලා නොසිතූ දෙයක් නිසා මට මේ ආයතනයෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.ඒ ආයතනයෙන් මටවත් මගෙන් ආයතනයටවත් සිදු වූ දෙයකට නෙමෙයි.ආයතනයේ ප්‍රධානියා පියෙකුට වගේ සලකද්දි හැර යාම ගැන මටත් දුකක් නමුත් යන්න සිදු වෙනවා.

මේ රැකියාවෙන් මට ලැබුණ දේවල් අසීමිතයි නොදන්න බ්ලොග් අවකාශයට අහම්බෙන් සම්බන්ධ වීම වගේම රැකියාවේදී මට ලැබුණ මගේ සහෝදරිය හැරයාම හිතට දුකක්.බ්ලොග් එකෙන් ටික දවසකට මට අයින් වෙන්න සිද්ධ වෙනවා.මගේ කොම්පීතරේ කැඩිල අළුත් එකක් ගන්න විකුණුවා.හදිස්සියේම අප්පච්චී සමග ආයෝජනයකට අත දැම්ම නිසා හම්බකල සියළු සංස්කාරයම ඒ වෙනුවෙන් වියදම්  කල නිසා මේ දවස් මම ලොස්.කොම්පීතරයක් ගන්න ටික කලක් යයි.ඒ නිසා බ්ලොග් එකෙන් නොකියාම යනවාට වඩා ඔයාලට කියල යන එක යුතුකමක් නිසා කිව්වේ.

ඒ වගේම මතක් නොකරම බැරි මගේ සහෝදරිය. ජීවිතේ මට හම්බවුණ අපූරු යහළුවා අද වෙද්දි මගේම නැගණියක්  වගේ  අපි දෙන්නා ජීවිතේ ගොඩක් දේවල් බෙදාහදාගත්තා. විටෙක හිනාවුණා බඩ රිදෙනකම් පුටුවෙන් වැටිවැටි.විටෙක දුක බෙදාගත්තා කදුළු පෙරිපෙරි.විටෙක කෑම කෑවා දෙන්නත් එක්ක තරගෙට.විටෙක රණ්ඩු වුණා ඔෆිස් එක පුරාම දුව දුව .ජීවිතේ කාට හරි හම්බවිය යුතු යහළුවෙක් නැගනියක් සිටීනම් මේ ලෝකෙ ඒ ඇය විතරයි.ඉරිසියාවක් හිත මායිමකවත් නැති අහිංසක කම දෝරෙ ගලා යන  පුදුමාකාර සංවේදී හිතක් ඇති ඇය ඔයාල නමින් නොදන්න නමුත් දන්න සිතුවිලි දැහැන


අවසරයි නික්ම යන්නට ටික කාලෙකට 
                  මගේ ආදරණීය බ්ලොග් අවකාශයෙන්...........


Saturday, July 28, 2012

ඉඩ විතරක් මට දෙන්න සදා ......

ඇසිපිය මත වූ කඳුලු බින්දුවක්
ඉබේම රූරා බිමට හැලෙනවා
අඳුරු අතීතයෙ රුදුරු මතකයන්
ජීවිතේම මට එපා කරනවා

ඇසිපිය මත මේ ලඟදී ඉදලා
කවුදෝ හිමිහිට දුව ඇවිදිනවා
ඇසිපිය තුල මත පමණක් නොවේය
හදවත වෙතටද රිංගා යනවා

ඔබගෙන් නොපතමි කුමරුනි කිසිදා
ඉසුරු ලබාදෙන්නටයි කියා
හැකිනම් ඔබගේ සෙවණේ ඉන්නට
ඉඩ විතරක් මට දෙන්න සදා 
.
.
.
.
.
.
.
.

අමාරුවෙන් ලබාගත්ත ඔයාගෙ ආදරේ ඇරෙන්න 
       මේ ලෝකෙ මට දාල යන්න දුක හිතෙන වෙනත් දෙයක් නෑ.........
(මේ ඔයා වෙනුවෙන් ලියපු කවියක් )


Thursday, July 26, 2012

මගේ මරණය.......


දිනෙක තනිවේවි
පාළු සුසානයක
නිවී නොනිමී දැල්වෙන
ඉටිපන්දම හිස ලඟ තනියට

දින තුනකට කලින්
පිපී මා වටේ හැඩකල
මල්වඩම් දෙක තුනත්
පරවෙමින් මා හැර යන්නට

තනිවෙන්නට පෙර පස්යට
පියාගේ බිහිසුණු විලාපය
මවගේ දුක් අ‍ඳෝනාව
දෙදන බිම තියා හඬන සොයුරාට

කියාදෙන්න මගෙ මිතුර
දිරිය දෙන්න ජීවත් වන්න ඔවුනට
ජීවිතේ අනියත බව කියාදෙමින්
රැගෙන යන්න පාළු සුසානයෙන් ඔබ්බට
 .
.
.
.
.
.
.
.
තනිවෙන්න දෙන්න මට
මගේ එකම ආසාව මරණය සමඟ
තනියට හිඳීවි දිනක මට
අරලිය මලක් හෝ මනීමලක් දම්පාට


 

Saturday, July 21, 2012

ජීවිතේ සෙල්ලමක් නෙවෙයි බොලව්......

මාතෘකාව දැක්කගමන් බය වුණාද? කවි ලියපු කිවිඳියක් මාතෘකාව දාපු විදිය දැක්කම සිංහල ජාතියට කථාකරන්න ඕනි වෙනම විදියක් තියනවා.දැනෙන්න කථාකරද්දි මේ විදියට වචන පාචිච්චි කලාම සිංහල ජාතියට හොදට දැනෙනවා.මේක මම අතින් මාතෘකාවක් අරන් ලියන පළමු පෝස්ට් එක ආදරේ සෙල්ලමකට ගත්ත ජීවිතේ ලන්සුවට තියපු කෙල්ලො කොල්ලො දැක්කම හිත රිදෙනවා.ඒකයි  මේ විදියට පෝස්ට් එකක් දාන්න හිතුවේ.මේක මගේ ‍බ්ලොග් එකනේ මට හිතුණා මම ලිව්වා.

මේ පෝස්ට් එකෙන් ආදරේ ගැන ජීවිතේ ගැන කථාකරන්න හිතුවා.ආදරෙන් පරාද වුණ අය ආදරේට වෛර කරන අය මෙතනින්ම කියවන එක නවත්තයි.බ්ලොග් ලියන ගොඩක් අය ආදරේ ගැන මතක් කරද්දිත් පැනල දුවනවානේ.අනේ මන්ද ඒ ජීවිත ඒ විදියට පෙන්නුවට ඒ හිත්වල ඇතුලාන්තයෙත් ඔය විදියටම ආදරේට වෛර කරනවද කියන එකනම් මට ප්‍රශ්නයක්.මම හිතන්නෙ නම් ආදරේට වෛර කරන කිසිම කෙනෙක් නෑ.කවුද ආදරයක් ලැබෙනවනම් එපා කියන්නෙ ආදරේ ලග තියෙද්දි ආදරෙයි කියල හිතට දැනෙද්දි හිතට ලැබෙන සැනසීම.ආදරෙත් එක්ක අපි හැමෝම බැදිල ඉන්නෙ නෑ කියන්න කාටවත් බෑ.ඒත් පුංචි සිදුවීමක් නිසා ආදරේම එපා වෙලා ජීවිතේම එපා වෙලා.ආදරණීය කවියක් දැක්කත් විරහව ගැන ලියවුන කවියක් දැක්කත් තමන්ගෙ හිත ඇතුලෙ තියන තරහ හැගීම පිටකරනවා කවිය දිහා බලලා.ඒ හිත තුල තියෙන තරහ කවි කාරයාගේ හෝ කවි කාරියගේ හිතම මරල දානවා.කවි ලියන්නෙ අත්දැකීමෙන්ම නෙවෙයි.ඒ ඒ ජීවිත වලට සම වැදිල ඒ ජීවිතයේ සිතුම් පැතුම් කොයිවගේද කියල හිතල ඒ සිතුවිලි පුංචි පද පෙලකට කැටි කරනවා.එහෙම කල කවි පදයකට හිතන්න ඔයාල කියන වචන හරිද කියලා.මම කියන්නෙ නෑ ඔයාල වැරදියි කියල ඕනිම කෙනෙකුට අදහස් පල කරන්න නිදහස ඕනි තරම් තියෙනවා.මම කියන්නෙ කවිය කවිය විදියට රසවිඳින්න කියලා.මොකද ඒ ඔයාගෙ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන් කවියක් වෙන්න ඇති නමුත් ඔයාල පැරදුණ ආදරේ නෙමෙයි ඒක කවි පෙලක්.


හරියට මේ වගේ කොච්චර ආදරේට එපා කිව්වත් ආදරේට වෛරකරනවා කිව්වත් ඒ අයගෙ ඇතුලාන්තය ඉරල බැලුවොත් පෙනේවි තියෙන්නෙ ආදරේම විතරයි කියල බලාපොරොත්තු වෙන්නෙ ආදරේ විතරමයි කියල....

හරි දැන් මගේ මාතෘකාව

ජීවිතේ සෙල්ලමක් නෙවෙයි.ආදරෙත් සෙල්ලමක් නෙවෙයි.ජීවිතෙයි ආදරෙයි කියන්නෙ දෙකකුත් නෙමෙයි.මම මේ එක පාර්ශවයකට ඇඟිල්ල දික් කරනව නෙමෙයි.දෙගොල්ලන්ටම කථාකරනවා.බලන්න බැරිනම් මෙතනින්ම කියවන එක නතර කලාට කමක් නෑ නමුත් හිතේ තියෙන හැම දේම මම තව දිගට ලියාගෙන යනවා.මම ආදරේ කියන්නෙ සතුටට.පිළිගැනීම නොපිළිගැනීම ඔයා සතුයි.මම එහෙම කියන්නෙ ඇයි දන්නවද? ආදරයක් ලග තියෙද්දි ජීවිතේ හරි පිරිල වගේ දැනෙනවා.එහෙම නේද?තනිකම මැකිල ගිහින් හිස්කම නැතිවෙලා ගිහින් ජීවිතේට හරි වෙනසක් දැනෙනවා.හරියට ඉඩෝරයකට ගස් කොල මැලවිලා වතුර නැතිවෙලා ඉරිතැලුණ මහපොලොව දූවිල්ල මකාගෙන වැස්ස වැටිල ගස්කොල පීදිලා නැවුම් සුවඳත් එක්ක දැනෙන දේ වගේ.කියන්න නොතේරෙන දේ තමයි ආදරය...උපමාවක් දෙන්න බැරි දේ තමයි ආදරය...හිතන්න ඔයා ආදරේ කරන කෙනා ඔයා නිසා සතුටින් ඉන්නව දකිද්දි ඔයාට දැනෙන දේ.තව තවත් සතුටින් තියන්න ආසයි නේ ඒකෙන් ඔයාගෙ හිතත් සතුටින් නේ. ඔයා සතුටු වෙන්නෙ එයා සතුටු කරල නේ? ඔයාගෙ ආදරේ සතුටින් ඉන්නව දැනෙද්දි තවත් සතුටු කරන්න හිතෙනව නේ.ළගට අරන් තුරුල් කරන් ලගින් තියාගන්න හිතෙනව නේආදරේ ඉහවහ ගියාම ආදරෙන් සිපගන්න හිතෙනව නේද?ඒකයි ආදරේ කියන්නෙ ජීවිතේ සතුට... සතුටයි ආදරේ කියන්නෙ....නැත්තම් වෙන මොකක්ද?


මහ ලොකු කෙල්ලෙක් නෙමෙයි මමත්. නමුත් මට කියන්න ඕනි දේ කියන්න පුළුවන් මට.කෙනෙකුට දෙයක් තේරුම් කරන්න පුළුවන් මට.බලන්නකෝ ඉතුරු ටිකත්.ජීවිතේ හරි ලස්සනයි යාළුවනේ හිතාගන්න බැරි තරම් ලස්සනයි.ඒක අපි අපායක් කර ගත්තට කවුරුවත් පලි නෑ අන්න ඒක මතක තියාගන්න.

ඔයා ආදරේ කරපු කෙනා යන්න ගියාද?
  ආයෙ කවදාවත් ඔයාගෙ ජීවිතේට නොයෙන්නම?
   එයා ගැන මතකය අමතක කරන්න බැරිද? 
     එච්චරටම ඔයා එයාට ආදරෙයිද? 
      ඔයා ඔය තරම් එයාට ආදරේ කලානම් එයා යන්න යාවිද?.........

ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ යාළුවනේ...ඔයා ආදරේ කලේ වැස්සියෙකුටවත් වස්සෙකුටවත් නෙමෙයිනේ...ආදරේ ඕනවටත් වඩා වැඩිය ඕන වන මනුස්ස පරාණයකටනෙ නේද?එහෙනම් එයා ඔයාව දාල ගියේ ඔයා ආදරේ කරන්න දන්නෙ නැති නිසා...ඔයත් එක්ක ඉන්න බැරි නිසා ඒකයි දාල යන්න ඇත්තේ.ආදරෙන් පැරදුණ ඔයා කියනවනම් මම ගොඩක් ආදරේ කරපු කෙනා මාව දාල ගියා කියල මම ඒ සිහා දකින විදි 2ක් තියෙනවා.

1. ඔයා එක්ක ආදරේ කරන්න බැරිකම (ආදරේ කරන්න ඔයා දන්නෙ නැති කම)
2.දාල ගියපු කෙනාගේ කැතකම (මම මෙතන කැතකම කිව්වේ කැත හදවතක් තියන කෙනෙක් කියලා)

කැත හිතක් නැත්නම් ඔයා වගේ අහිංසකයෙක් අහිංසකියක් දාල යයිද?මතක තියාගන්න දාල යනවනම් කවදා හෝ එයා දාල යනවමයි.ඒක අදද හෙටද නෙමෙයි වැදගත්. යන්න ඉන්න කෙනා කවදාකම හෝ යනවා.හිතන්න ඔබ විවාහය කියන බැඳීමටත් කොටුකරල  දාල ගියානම් ඔබ මීටත් වඩා අසරණවෙයි නේද?දෙමාපියන්ට මිතුරන්ට සමාජයට ඔබ මුහුණ දෙන්නෙ කොහොමද?යන්න දෙන්න ජීවිතයක හදවතක වටිනාකමක් දන්නෙ නැති කිළුටු හදවතට යන්න දෙන්න.තනිවුණාද? පාළුයිද? ආදරෙයිද? කමක් නෑ හිමින් අමතක කරන්න. එයා ඔයිටත් වඩා ඔයාව අසරණ කරන්න ඉඩ තිබ්බා.හිත හැදෙනකම් අඬන්න.වේදනාව පිට කරන්න.යන කෙනාට යන්න දෙන්න. බලෙන් ලංකරගන්න එපා ඔයාගෙ ජීවිතේ විනාසම කරල දාවි..එයාට නිදහසේ යන්න දෙන්න.මේ ජීවිතය ඔබේ.ඒක විනාස කරන්න කාටවත් දෙන්න එපා.

ආදරෙන් පැරදුණා කියල ජීවිතෙන් පරදින්න එපා.මේ ජීවිතේ ඔයාගෙ.ලස්සනට ජීවත් වෙන්න පිස්සෙක් පිස්සියක් වෙන්න එපා.හැඟීම් පාලනය කර ගන්න විවාහ වෙන්න කලින් ඔයාව දාල ගිය එක ගැන සතුටු වෙන්න.යන අයට යන්න දෙන්න නමුත් එක දෙයක් අනේ ගිය කෙනා වෙනුවෙන් ගහක් ගලක් ගානෙ කිය කිය මඩ ගහන්න එපා.සමාජයට ඔයා හොදයි එයා හොද නෑ කියල පෙන්නන්න යන්න එපා.ඒක ගොඩක් අය අතින් වෙන වැරැද්දක්.දන්නවද ඔයා එහෙම කලොත් දාල ගියපු එයාගෙ කැත හිතට වඩා ඔයාගෙ කැත හිත ඉදිරියට එයි.එයාගෙ කැත හිතට වඩා ඔයාගෙ කැත හිත උඩින් තියන්න එපා එහෙම කරලා.වේදනාව ඉවසන්න බෑ කියලා තැන තැන වැරදි කියව කියව යන්න එපා.මොකද ඒකෙන් අපිට වෙන ලාභයක් නැති නිසා.හරියට අපි උඩ බලන් කෙල ගැහුව වගේ වැඩක්.මොකද පණ දෙන්න ආදරේ කරපු කෙනෙකුට දාල ගියහම ඔහොම කරන්න පුළුවන්ද?අපිට  කාටවත් මඩ ගහන්න අයිතියක් නෑ.ඔබ එහෙම කෙනෙක් වුණොත් ඔයාගෙ අහිංසක හදවතටත් වැටේවි නමක් පහත්කම කියලා. අන්තිමට වැරදි කරපු අයට නෙමෙයි අපිටයි සමාජය වැරදි කියන්නේ.
මේ ජීවිතය ඔයාගෙ මේ හදවත ඔයාගෙ ජිවිතේ වැරදුණානම් හදාගමු තනිවුණානම් තනිකමෙන් මිදෙමු.වැරදි හදාගෙන ආයෙත් ආදරේ කරමු.ජීවිතේ එකම සහ අවසාන ආදරේ ඒකනම් එයාගෙ සතුට වෙනුවෙන් අපි නිහඬ වෙමු.ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයිනේ.

හරි දැන් මම මෙච්චර වෙලා කිව්වේ ඔයාව දාල ගියේ  එයාගෙ කැතකම නිසා කියලනේ.දැන් බලන්නකෝ ඔයත් එක්ක ආදරේ කරන්න බැරිකමට දාල ගියානම් ඒ ඇයි කියලා.අපි ඕන කෙනෙක් ආදරේ හරි පරිස්සම් කරනවා.විටෙක ඒ ආදරේ වැඩි නිසා.ඒක කොහෙත්ම වැරදි නෑ.නමුත් ඔබේ ආදරේ වැඩිකම එයාට හිරිහැරයක් නම්.හරියට ගිරවෙක් කූඩු කලා වගේනම්.මම නැතුව කොහෙවත් යන්න එපා.කොල්ලො එක්ක කථා එපා.කොල්ලන්ට නම්බර් එක දෙන්න එපා.මිස් කෝල් ආවොත් මට කියන්න.මේ ඇඳුම් අදින්න එපා.මේ ප්‍රශ්නනම් වැඩිපුරම තියෙන්නේ ගැහැණු ළමයින්ට පෙම්වතාගෙන්.වැරදියි කියන්නෙ නෑ දෙයියනේ ඔයා හරි වෙන්න ඇති යම් දෙයක් දිහා ඔය දකින හරි වැරැද්ද එයාට පෙන්නල දෙන්න.නීතියක් දාන්න එපා කියල දෙන්න.කරදරයක් වෙන විදියට නෙමෙයි නිදහසට බාධාවක් වන විදියටත් නෙවෙයි. පෙම්වතියගෙන් පෙම්වතාට නීති වැටෙනවා ගොඩක් අඩුයි.නීති දාල හිරකරන් තියාගන්න පුළුවන්ද?එහෙම හිරකරන් මේ මගේ පෙම්වතා මේ මගේ පෙම්වතී කියල ලෝකෙට පෙන්නන්න පුළුවන්ද?
ජීවත් වීමටත් නීති දාල නිදහස බින්දුවටම අහුරල හරියට කූඩු කරල වගේ තියාගන්න පුළුවන්ද? එහෙම කූඩු වෙලා ජීවත් වෙන අය කොයි තරම් නම් ඉන්නවද? එයා ඉදියි ඔයා ලඟ හැබැයි සතුටින් නෙමෙයි.ආදරෙන් නෙමෙයි අසරණකමට. ඉවසන් ඉදල ඉදල එපා වුන දවසට යන්න යයි. කවුද හිරවෙලා ඉන්න කැමති.නීති දාන්න එපා හරි වැරැද්ද කියල දෙන්න ආදරේ වෙනුවෙන් ඔයත් ඉවසන්න එයාගෙ සතුට වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ කැප කරන්න.ආදරේ කරන්න.ආදරේ කියන්නෙ සතුට.මානුෂික වෙන්න.වරදින එකක් නෑ ඔබට ජීවිතය.සින්දුවක් අහන්න දෙන්න කවියක් ලියන්න දෙන්න ඒක විරහව ගැනද ආදරේ ගැනද නෙමෙයි වැදගත් එයා ඒ දේ වෙනුවෙන් ලබන තෘප්තියයි වැදගත්.ලබන සතුටයි වැදගත්.එයාගෙ සතුට වෙනුවෙන් නිහඬවෙන්න.කාගෙවත් ජීවිත වලට බලපෑම් කරන්න අපිට අයිතියක් නෑ.

ජීවිතේ හරි ලස්සනයි.මේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න එපා...මේ ජීවිතය මගේ....මේ ජීවිතය ඔබේ. 



පියඹා යමු ආදරේ සොයාන නිදහසේ......
                        හමුවෙනතුරු දිනක සැබෑ ආදරේ.....




Thursday, July 19, 2012

ඔබ නැති පාළුව මකන්න බෑ......

මල්වල සුවඳ කොතරම් තිබුණත්
එක හිතක ඒ සුවඳ නෑ......

අහස් ගැබේ තරු කොතරම් තිබුණත්
එක අඳුරු රැයක් දුරු කරන්න බෑ......

ජීවිතේ මට කවුරු හිටියත්
ඔබ නැති පාළුව මකන්න බෑ......

කොතරම් අය ආදරේ කලත් මට
ඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......

Saturday, July 14, 2012

දඟකාර මුත් සඟවනු කෙලෙසක .....

ඉර අවරට යන සැදෑවක
නුඹ හමු වූ සොඳුරු මොහොතක
මගේ පෙම් හිත නැතිය අවනත
නමුත් සුරකිමි වෙනදා මෙන් මුනිවත

නිහඬ නුඹෙ හිත  හැඟීම් දහසක
සඟවමින් ඉගිලෙනව දැක දැක
කොහොම ඉවසා ගම්ද මසිත
තබමි හාදුවක් ඔය දෙකොපුලක් මත

දඟකාර මුත් සඟවනු කෙලෙසක 
සුවඳ විසිරෙන මලක් විලසක 
ලබන්නට කල්පයක් නුඹෙ හිත
පුදමි සුවඳ මල් පුදසුනක් මත

බස් රේඩියෝ බ්ලොග් සතිය 



Wednesday, July 11, 2012

නුඹටම ලියමි තව තවත් කවිපද.....

කාලෙකින් ලිව්වෙ නැහැ කවියක්
නුඹ ගැන මතකය උහුලන්නම බැරි තැන
අහන් ඉන්නවනම් ලඟ පාතක
හුඟක් කවි ගොඩගැහිල හිතවට
කෑගහල වුණත් කියන්නම
වටින තරම් නුඹව මට

ආදර කවියේ පද පෙලක රස
දැනේද කිසිදා ආදරේ නොකල අයහට
අපි ලියූ ආදර කවියේ පද පෙල
විසිරුණා සීසීකඩ බලන්නට පෙර එහි අපූරුව
මටම නොහැගෙයි මගේ ජීවිතය ගැන
හෙටක් නොපෙනෙනා ඉසව්වක තනිව

විඩාබරයි නුඹ නොමැති ලොවම මට
නොදුටු හෙට දිනත් නුඹ වෙනුවෙන්ම හිඳ
නුඹටම ලියමි තව තවත් කවිපද
මත‍කයෙන්වත් යන්නට නොදී නුඹ හට

ජීවිතයට කවිය කොයිතරම් ලඟද සතුට හිමිවුණත් දුකම හිමිවුණත් අපේ ජීවිතයේ සියළු දේම අයිතිකරගෙන කවිය ජීවිතයට සහනයක් දෙනහැටි...

Saturday, July 7, 2012

තරහකාරයා සමග මිතුරුවීම....

ඔන්න පළවෙනියටම පාසලේ දී කල දඟ වැඩේ ගැන බලපු ඔයාලගේ ඉල්ලීම සහ ප්‍රතිචාර අනුව දෙවනි කථාවටත් මුල පුරන්න කලින් හිතුවා අර තඩිබඩා එක්ක යාළුවො වුනේ කොහෙමද කියල කියන්න.හැමෝටම හරි ප්‍රශ්නයක් වුණානෙ ඒ මාරාන්තික දර්ශනේ බැලුවම හොදම යාළුවෙක් වුනේ කොහොමද කියල.ඒ පෝස්ට් එක බැලුවෙ නෑ ඉතින් ඕකට අඬන්න ඕනිද? ඔන්න මෙතනින් ගිහින් බලලම එන්නකෝ

නැත්තම් මේ කථාව බලල වැඩක් නෑ මොකද විස්තර අඩුයි මේකේ. හරි කොහොම නමුත් අපි බහිමු කථාවට පොප් කෝන් එකක් එහෙම ළගට ගත්තද? සින්දු නම් නෑ ඔන්න ඕන් කථාව අපි මේ සිද්ධිය වෙද්දි 10වසරෙ මුල. අපි දෙන්නගෙ පොඩි පොඩි වලි තිබ්බා මතකනෙ මුල් වලිය එදයින් පස්සෙ පොඩි පොඩියට වලි ගියත් සාර්ථක ඒව බිහි වුනේ නෑ චිත්‍රපටියකට වගේ සුදුසු භූමිකාවක්. ඒ නිසා ඒව වැඩක් නෑ‍.ගෑහැණු ළමයින්ගෙ පෝලිමේ ඉස්සරහින්ම ඉන්නෙ මම පිරිමි ළමයින්ගෙ පෝලිමේ අවසාන පේලියේ බිත්තියට හේත්තුවක් දාගෙන ඉන්නෙ ගයි.පන්තියෙ පාඩම් වැඩ වලදි වුණත් ටීචගෙ ප්‍රශ්න වලට වුනත් අපි දෙන්න දෙපැත්තෙ ඉදන් වලි..ටීචලා වුනත් අපි දෙන්නගෙ රණ්ඩු ගැන දන්න නිසා පස්සෙ පස්සෙදි ඒක ගානක් වුනේ නෑ කාටවත්ම..

විවේක කාලයේදී පන්තියේ පිරිමි ළමයි හැමදාම ක්‍රිකට් ගහනවා..ගෑණු ළමයි ටිකත් කාල ඉවර වුණාම දෙයියනේ කියල මැච් එක බලන්න යනවා ග්‍රවුන්ඩ් එකට.දවසක් තඩියා ක්‍රිකට් පාරක් ගහන්න ගිහිල්ලා පොර දැන් පන්දු රකින පැත්තේ.එහාට දුවනවා මෙහාට දුවනවා බතලෙ වගේ. 

 ෆැවිලියන් එකේ ඉදගෙන මම මැච් එකේ විස්තර විචාරය දෙනවා නරඹන ප්‍රේක්ෂිකාවන්ට මෙහෙම "දිව යනවා අතුල වමතින් ගෙනියන බෝලය දකුණතින් විසිකරන්න" "පන්දුවට මුහුණ දෙන කරෝලයා (මතක තියාගන්න මේ නම ඉස්සරහට හරි වටී) දකුණත් පිතිකරු පිළිගනිමින් පන්දුව සුපුරුදු දක්ෂතාවය සමගින් දණහිස නමමින් දැවැන්ත  හයේ පාරක් හෝ හතරේ පාරක්...නියමයි සමහර විට ඒක උඩපන්දුවක් වෙන්නත් බැරි නෑ තඩිබඩාගෙ ආවරණ කලාපය නිසා."

ඇත්තටම දැවැන්ත පහර තාම අහසෙ මමත් උඩ බලාගෙනම විස්තර විචාරයත් අමතක වෙලා ළග හිටපු එකාට පිටට පහරක් දුන්නෙ වෙන්න යන දේ ඉවෙන්ම තේරුණ නිසා සතුට වැඩිකමට.උඩපන්දුව ඉතා දක්ෂ ආකාරයෙන් රැකගන්න හිතන් තඩිබඩා කලිසමේ එහෙම අත්දෙක පිහිදගෙන ලෑස්ති වුණා.පන්දුව ඈත්වෙන්න වෙන්න තඩිබඩා පස්සෙන් පස්සට ගිහින් පිට්ටනියෙ පැත්තකින් පහලට ලිස්සලා වැටෙනවා..අපේ පාසලේ පිට්ටනිය ටිකක් උසයි වටේම පල්ලම ඒකයි එහෙම වුනේ.තඩිය වැටුනා පහලට බතල ගෙඩියක් වගේ රෝල් වෙලා යනවා මගේ ඇස් දෙකින්ම දැක්කා ඉතින් මට කොච්චර හැපී කියලද හිතන්නෙ.වාඩිවෙලා මැච් එක දිහා බලන් හිටපු මම උඩ පැනල අරූ වැටුනා හුරේ..... හූ..... හූ පාරක් දෙන ගමන් අත්පුඩි ගහ ගහ නැගිට්ට. (නෑ.... නෑ... නැගිටුණා.) ඉහවහ ගිය සතුට දෝරෙ ගලන්න කලින් කෙලිකම අම්ම මහල දුන්න අළුත් සුදුගවුමෙ සාක්කුවට දාල මම කෑ ගැහුවෙ..


කට්ටියට උස්සල ගන්න පුළුවන්වත් සයිස් එකක්ද එයාට තිබ්බෙ.පල්ලමට රූටලා ගියපු තඩියා අමාරුවෙන් කන්ද බඩගාගෙන උඩ ඇවිත් ඉතුරුටික එන්න අත දික් කරනවා. අත දීල උඩට ගන්න හදන එකත් තඩිය ඇදල පල්ලමට දාගන්නවා හිනා වැස්සයි සාගරයයි කිව්වලු.කොහොමින් හරි ලණුවක් දාල පල්ලමේ ඉන්න අයයි තඩියයි මුළු පන්තියම උඩ ඉදන් ඇදල ගත්තා.තඩියා ඇතුළු පල්ලමට පත බෑවුණු සියල්ලන්ම දැන් ගොඩ.කිව්වට විස්වාස කරන්න මුළු ඇගම තඩියගෙ සීරිලා දණිස්සෙන් ලේ ගලනවා හරියට මහවැලි සොරොව්ව ඇරිය වගේ.තාම අපි පිට්ටනියේ ඉන්න නිසා වතුරත් නෑ.කොයි වෙලේත් වලි දාගත්තට මොකද පවු කියල හිතුණා.තරහ කාරය වුනත් අසනීපයක් වුනොත් නොබල ඉන්න එක හරිනෑනේ.ඔච්චර දේවල් එවලෙ මම හිතුවෙ නෑ ඉනේ ගහල තිබුණ මගේ අහිංසක ලස්සන පිරිසිදු ලේන්සුව ත්‍රිකෝණ ආකාරයට නවල තඩියගෙ කකුලෙ බැන්ද?ඔයාමද බැන්දෙ කියලද අහන්නෙ ඔව් මම තමයි බැන්දෙ? පන්තිය අයගෙත් මීටරේ ටිකක් වෙලා යනකම් වැඩ නැති වුණා වගේ.කටවල් ඇරිල ඇස් පුංචි වෙලා සමහරුන්ට හීන්දාඩියත් එක්ක සුළු කලන්තෙ ඔය වගේ දහසක් රෝග මතුවුණා මම කරපු වැඩේට.ඇයි ඉතින් අපි දෙන්නගෙ හැටියට කවුරුවත් මෙහෙම දෙයක් වෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ නැතුව ඇතිනේ.එදා උණු වෙච්ච හිත ආයෙමත් තඩිය නිසා ගල් වුණේ නෑ.එයත් නොසිතූ නොපැතූ වෙලාවක මා කල වීර ක්‍රියාව ගැන හැමදාටම හිතේ තිබුණා..(වීර ක්‍රියාවක් නෙමෙයිනම් ඔන්න මොකක් හරි)

පහුවෙනිදා උදේ පාන්දරම පන්තියට ඇතුල් වෙද්දි තඩිබඩා සුන්දර සුකොමල හිනාවත් එක්ක හරියට සිග්නල් ඇඩ් එකකට නළුවෙක් ඉන්ටවුබෝඩ් එකට ගියාවගේ මට විරිත්තගෙන පන්තිය ඉස්සරහම මේසෙ උඩට තඩි පස්ස පොඩ්ඩක් තියාගෙන හේත්තු පාරක් දාගෙන...ගුඩ් මෝනින් කියාගත්ත ගමන් අප්පට බොල මේකට මොනාවෙලාද? 

(විශේෂයි.. අපේ පාසලේ බුද්ධාගමේ ළමයි තමයි ගොඩක්ම හිටියේ ක්‍රිස්තියානි ආගමේ එක ළමයෙකුයි මුස්ලිම් ආගමේ එක ළමයෙකුයි අපි දන්න තරමින් ඒ දවස්වල හිටියේ අපි උදෑසන කවදාවත් මුහුණට මුහුණ හමුවෙද්දි ගුඩ්මෝනින් කියන්නෙ නෑ.අත්දෙක එකතු කරල අනෙකාට යන්තමින් හිසනමල බුදුසරණයි කියල තමයි කියන්නේ)

එවැනි අචාරශීලීත්වයක් පාන්න තරම් අපි අතරෙ සුහද බවක් නැතිවුණ කොට මෙහෙම හරි ගුඩ්මෝනින් කියපු එක මදැයි.හිතනවද මමත් ගුඩ්මෝනින් කිව්ව කියල පිස්සුද එයා කල වැඩේ හෙලා දකින්න මම අත්දෙක එකතු කරල බුදුසරණයි කිව්ව.වෙනදනම් මෙයාව මූණට හම්බවෙනවනම් කොහොම හරි මග අරිනවා අද එහෙම කලේ නෑ.එයාටත් හිතෙන්න ඇති කලේ මෝඩ වැඩක් කියල එයත් අත් දෙක එකතු කරල බුදුසරණයි කිව්වා.කියල පුංචි බෑග් එකක් මගේ අතට දීල තෑන්ක්ස් ඔයා ඊයෙ  උදව් කලාට කිව්වා..රෝස පාට ලේන්සුවක් කවරෙ ඇතුලෙ තිබුණා..හිතුව නේ මම ගත්ත කියල .මම එහෙම කරනවද ෂික් එහෙම නොන්ඩි වෙනවද?මට ඕනි පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නනේ.ඒ නිසා තෑන්ක්ස් ගයි...(මේ නම කිව්වෙ මම පළමු වතාවට) මම ඔය ලේන්සුව ගත්තොත් ඊයෙ කල උදව්වට ඔයා ණය ගෙව්ව වගේ වෙනවනේ.ඒනිසා මම මේක ගන්නෙ නෑ.ඔයා හැමදාම මට ණයක් ගෙවන්න තියෙනවා ණයක් නෙවෙයිනම් මම අඩුගානෙ ඔයාට උදව්වක්වත් කලානෙ කියල  හිතේ තියන් ඉන්නකෝ..ඒ ඇති..... ෂික් කොහොමද මගෙ ටිකිරි මොලේ.. එවලෙට ආපු වචන ටිකක් අනේ ඒක..එයා අත දික්කලා Friends..... ඔන්න ඔහොම ඉන්න එපැයි...ඒකටනම් මම පැනලා දුන්න අත Ok Friends..... හැබැයි මාත් එක්ක ලොකුකම් බෑ...නිකම් හිටියෙ නෑ මමත් දණිස්ස නවල දුන්නෙ හයේ පාර..සිහින් සිනාවක් දාල ගයියා  ගියා පන්සිල් ගන්න..

එදයින් ඇරඹුන ආදරණීය සහෝදරත්වය හැමදාම ඒ විදියටම තිබුණා...

හැමෝම අහපු නිසයි  ඔන්න මේ කථාව කිව්වේ  දගවැඩ මෝඩවැඩ ගුස්පිවැඩ ඊළග පෝස්ට් එකෙන්  දාන්නම්...

 

Wednesday, July 4, 2012

ජීවිතේ දුකයි සසර දිගයි .......

ජීවිතේ දුකයි සැපයි ඇතත්
ඒ බවක් නොදන්නා
මිනිස් සිතේ අරුමය මා 
තේරුම් ගත්තා
දෙපා වඳිමි මගේ ලොවේ 
දෙවිවරු දෙන්නා
පියාණනී ඔබේ දෝණී 
මෙහෙනක් වෙන්නා......

දුකයි නමුත් ඇසවෙත එන 
කඳුළු පිසින්නා
ලේ කිරිකර මට පෙවු මගෙ
ආදර අම්මා
දෙපා වඳිමි මගේ ලොවේ 
දෙවිවරු දෙන්නා
මවුනි ඔබේ දෝණී හෙට
මෙහෙනක් වෙන්නා......

ඉපදෙනව නමුත් යම් දිනකදි
පරලොව යන්නා
හැම දිනකම තරුණ බවක්
ගතෙහි නොවෙන්නා
සංසාරේ හැම මොහොතක
ඇල්මක් වෙන්නා
බුදු හිමියන් මේ හැම දේ
කියලා දුන්නා.....

ජීවිතේ දුකයි සසර දිගයි මා
හොඳින්ම දන්නා
මගේ ලොවේ දෙවිවරු මට
අවසර දුන්නා......


විශේෂයි.....
මේ කවියේ පදවල නොගැලපීම් ඇතොත් සමාව දේන සේක්වා...මම කවියට පද ගැලපුවා මිසක් සිංහල ව්‍යාකරණ නීතිරීත ගැන නොසිතුවෙමි.