Tuesday, January 29, 2013

ගම් පහ ගෙවුණු සුන්දර දිනය.....

ජනවාරි 27 ගම්පහ ගෙට්ටුව...........

 සිත්තමීට නම් ගෙට්ටුවට සහභාගි වීම හීනයක් වගේ තිබුනේ.ගෙදරින් එළියටවත් බහින්න තහනම් නියෝග පනවල තිබියදිත්  අප්පච්චිට ගල්පැලෙන  බොරුවක් කියල මව් පාර්ශවයට ඇත්තම කියල ගෙදරින් එළියට පැන්නේ ඇත්තටම නොදුටු යාළුවො ගොඩක් බලාගන්න.වෙන්ඩ හබීත් කවදාවත් නොදැකපු කවුද කින්ද මන්ද කියල නොදන්න ඈයො පිරිසකට එකතුවෙන්න යන සිත්තමී කෙල්ලට යන්න එපා නොකිය සිත්තමී එක්ක යන්න ආව ඔහුගේ දහසකුත් වැඩ රාජකාරි පසෙකට තියෙල.ගෙට්ටුවේ අසිරිය කියන්න කලින් ගෙට්ටුවට පය ගහන්න දිරිය දුන්න අයව මතක් නොකරම බැරි නිසා ආදරණීය පියාණන්ගෙන් අවසර ලබාදුන් මගේ ආදරණීය මෑණියන්ටත් වෙන්ඩ හබීටත් හිස නමා ආචාර කරන ගමන් අපි බහිමු ගෙට්ටුව පැත්තට.....

දහසකුත් සිහන මවන් ගිය ගෙට්ටුව දැක්කම සිහින් දාඩියකුත් දැම්මා දෙවියනේ අදුරන්නෙ නෑනේ කවුරුවත් වටපිට බල බල හිමින් සේනදු වුණා.ඇස් යව යව බැලුවෙ මහලොකුවට එන්න එන්න කියල කෑගහපු රෙපාව.මගේ වෙලාවට ‍ෆොටෝ කෑල්ලකින් ඒ මුණත් තහඩුව දැකල තිබුණ නිසා  ඇදුරගන්න අපහසු වුනේ නෑ.ළගට යනකම් මෑන්ද මෑන් කියල එයා මාව අදුර ගත්තෙ නෑ.ඒක ඉන්ෂූරන්ස් වලටත් වඩා ෂුවර්.කථාකලාම නම් කිව්වෙ අදුර ගත්ත කියල. හික්ස් එහෙම හිතමු.

ඊටපස්සෙ එයාගෙන් මම අදුරන අයව ඇහුවා එයත් සමහරු දන්නෙ නෑ කියලා දන්න දන්න අය පෙන්නුවා.අර සයිබරයේ සිහින පෙම්වතී 


අර කවුද අර අනේ අපේ දිනේෂ් කොල්ලගෙ අර සිහින පෙම්වතී සිහින මදාරා....... 
කොණ්ඩෙත් කඩාගෙන විසේ කොරකොර බංකුවකට වෙලා හිටියා.ලගට ගිහින් කථා කොලාම අනේ හරි හුරුබුහුටියට කථාකොලා ආසාවෙ බෑ.සිහින පෙම්වතීම තමයි.දවස තිස්සෙම ෆෝන් එක ඔබ ඔබ හිටිය මිසක් වෙන වැඩක්නම් දැක්කෙ නෑ.සිත්තමී විහිළුත් කලා වැරදියට බෙහෙත් දීල ලෙඩ්ඩු මරයි ඔහොම කරන්න එපා කියලා.මොනව වුනත් හරි හොද කෙල්ල.(කාටද ඉතින් ආඩම්බර දිනේෂ්ටනේ....)

එතකොට ආදණීය උණුසුම් පිළිගැනීමක සිත්තමීව ලක්වුණා  රස්තියාදුකාරයාගෙන් ඒ සිත්තමී ඔහුව අදුන ගන්න ඔහු ලගටම ගිය වෙලේ,ප්‍රාර්ථනා කෙල්ල, එතකොට පුංචිම පුංචි දැක්කම, වැටෙන නාඩිත් නවතින පුංචි  නාඩි අයියා,
හැමෝටම බය සිත්තරී මං කෙල්ල,




බ්ලොග් අවකාශයේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙත් නෝටි වල් රජා (ලගට ගිහින් අදුර ගත්තෙ නැතත්) දුටුව සැනින් වල් රජා අදුරගත්තැහැකි.පිට්ටනියට බැහැල හිටියෙ සෙල්ලම් කරන්න වුනත් රජාගෙ හිත පිට්ටනිය වටේ බංකුවල හිටිය ලස්සන ලස්සන කෙල්ලො ලග.කවුරුවත් නිකමටවත් බෝලෙට වැරදිලාවත් ගහන්නෙ නැති පැත්තක හෙවනක් හොයන් වල් රජා මනෝ පාරවල් දාගෙන හිටියා. 


ලගට ගිහින් කථා නොකලත් මුහුණින් අදුරගත්ත රත්ගමයා.තරියා අබේ,සිංහයා,ඇතුළු ගොඩක් පිරිසක් මුහුණින් හදුනාගත්තා.දැන් මතකෙට එන්නෙත් නැ නම්.අපොයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ආදරණීය වී පොකුර ලියන වීයා.... නෝටිම නෝටි දගකාර අර මඩිස්ස ලියන කොලුවා.දොඩම් ගෙඩි දෙකක් තරම් වත් උස නෑ.(කවුද කියලද අහන්නේ ඇයි අනේ නංගිලත් මේ පැණි කොල්ලගෙන් බේරෙන්න බැරි කමට ආ......මල්ලී කියනව කියල අඩන කොලුව අනේ .....අර මල්වත්තෙන් එළියට යද්දි කෙල්ලෙක් සෙට්වෙයන් කියකිය හිටිය පුංචි කොල්ල නිශාන්  හුරුබුහුටි කොලු පැටියා)

කතා නොකරම බැරි සැමා......හැමෝටම අමතක නොවන  චරිතයක් වුණා ගෙට්ටුවේදී......කුණු ගද ගහන සපත්තු දෙක නැති කරන්  ගෙට්ටුවට පැමිණි හැමෝගෙම  මුස්පේනුතු මුහුණු වලට පවා සිනාවක් එක්කල සෑම් අයියා.ගදෙන්වත් හොයාගන්නවා සපත්තු දෙක ඒත් කරුමෙට පෙරදා ඒ කුණු සපා දෙක හෝදලාලු.එහෙම කිය කිය ග්‍රවුන්ඩ් එක වටේම ගියා.හොයල දීපියවු නැත්තම් කන්න දෙන්නෙ නෑ.කොයිතරම් ගර්ජනා දැම්මත් සුපිරියටම වැඩේ කල කෙනානම් ඒ පුස්පාට් වලට රැවටුනේ නෑ.

ඔන් නොකියාම බැරි සිත්තමීගේ සොයුරු සිරා කොලුවා.ෆොටෝ කෑලි වලින් අදුරගෙන තිබුන නිසාත් දැකපු හැම ෆොටෝ එකේම රතුපාට ටී එකක් ඇදගෙන හිටපු නිසාත් ඒ ඔහුට තියෙන එකම ටී ෂර්ට් එක බව අදුන ගත්ත සිත්තමී ග්‍රවුන්ඩ් එකෙන් එලියට එනකම්ම හිටියා කථා කරන්න.ඒත් මේන් කොහේදෝ ඉදල මෙයා දුවල ඇවිත් මම සිරා කිව්වෙ නැතැයි.ඔව් ඔව් සිත්තමී ඔයාට තියෙන එකම ටී ෂර්ට් එකෙන් අදුර ගත්තා කියන්න පුළුවන්ද කටක් ඇරලා.හිනාපාරක් දාල මමත් උණුසුම් හමුවීමක් සනිටුහන් කොලා.

ඇත්තමයි සිරා කොලුවෝ ඔය කිරිකැට් තරගයක් නැතුව හැමෝටම එකතු වෙලා කොරන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් කොලානම් මීටත් වඩා සාර්ථකයි කියලයි මට හිතුනේ. එහෙනම් මීට වඩා අදුනන්නෙ නැති බ්ලොග් කරුවන් අදුනගන්න අවස්ථාවක් අපිට ලැබෙන්න තිබුණා.කොහොම වෙතත් ඔබේ උත්සහය අගය කොරනවා.සිරා, සැමා ඇතුළු අර අටම්පහුර අයියණ්ඩියට සංවිධානය කල ගම්පහ ගෙට්ටුව වෙනුවෙන් ස්තූති වන්ත වෙනවා.

නොකියම බැරි අර බස් රේඩියෝවේ නිවේදක කොලුවා......සුපිරියි ඈ........ඔන්න ඒ කවුද කියන්නනම් මම දන්නෙ නෑ.......මයික් වලටම හරියන කටක්. ඔන්න සිත්තමී ඔහු හදුනන්න මයික් කටා කියල සුන්දර සුමිහිරි නමක් දැම්මා කියලා අමතක නොකර දන්න හැමෝම ගිහින් කිව්වොත් හොදයි.සිත්තමීව ඒ මයික් කටා අතහැරියෙම නෑ.සුපිරි කිණ්ඩියකුත් දාගෙන සිත්තමීගේ විස්තර දැනගෙන පුංචි රිලා පැටියෙක් වගේ එහෙට දුව දුව මෙහෙට දුව දුව සුපිරියටම නිවේදන පාරවල් දැම්මා.මාරයි ඈ.‍නිවේදකයෝ දැකලා නෑ සිත්තමී....එහෙම කියයි බලන ඔයාලා.නෑ නෑ එහෙම නෙමෙයි මයික් කටා පාළුව යන්න කරපු වැඩ ටික දාපු කිණ්ඩි එහෙම පිට්ටනියෙන් එපිට ඈණුම් ඇර ඇර හිටපු අයට නින්ද නොයන්න වැඩ කොලා.....පිදිය යුත්තන් පිදීම වගේම අගය කල යුත්තන් අගය කල යුතුයි.

ඒ වගේමයි කම්මැලි කමේ ඈණුම් ඇරපු කෙල්ලො ටිකට දීපු සංගීත තොප්පි තරගය.සුපිරි නැතත් වෙන දෙයක් නැති කමට හොදා.කාගෙද වැරැද්ද සිරා කොලුවගෙ කිරිකැට් ගහන්න පුළුවන්ද කෙල්ලන්ට කොල්ලො විතරක් කිරිකැට් ගැහුවම හරිද?  ආයෙමත් කියන්නෙ පුංචි පුංචි ගේම් ටිකක් තිබුනනම් ගේට්ටුවෙ වටිනාකම කියල වැඩක් නෑ.ආයෙ ගේට්ටුවක් සංවිධානය කොරන්න බලාපොරොත්තු වන්නන්ටත් එක්කයි මේ කියන්නේ.

තව හිටියා දගකාර කොලු මල්ලියෙක් හැමෝම කිව්වෙ ස්කුබියා කියලයි මට මතක හැටියට.හරි හොද බුවා.බුවත් එක්ක හිටපු කෙට්ටු අයියද මල්ලිද මන්ද අර දම්පාට ඉරි ටී එකක් ඇදල හිටියෙ.එයාගෙත් බ්ලොග් එකයි නමයි දෙකම අහගත්තත් දැන් මතක නෑ.මට මේ දෙන්නා ගැන  දන්නා අයෙක් වේ නම් වහාම විස්තර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. 

 Group Photo එක ගෙට්ටුව අවසාන වන්නටත් කලින් සිරා ගන්න තීරණය කොලේ එකා දෙන්න හිමිහිට මාරුවෙනව බලන් ඉන්න බැරි කමට.ගෙට්ටුවේ මිහිරිම අවස්ථාව ඒක.හැමෝම පෙලට ඉන්න ට්‍රයි කරනවා.එකෙක් මූණ පේන්නෙ නෑ අයින් වෙයන් ඔතනින් කියනවා.තව එකෙක් කෑ ගහන්න එපා බොලව් Audio රෙකොඩ් වෙනව කියල කෑගහනවා.දකුණෙ බිත්තියෙ එල්ලිලා ඉන්න උස කෙනා '' අඩෝ අරන් ඉවරද මේකෙ එල්ලිලා මගෙ අත රිදෙනවා" කියල කෑ ගහනවා.ෆොටෝ ගත්ත කෙනාට දස වද දීල අන්තිමට මෙන්න මේ විදියට ෆොටෝ එක අරන්.
 
                                     ෆොටෝ එක හොරකම් කල එකක්

ගෙවුන ඒ දිනයනම් සුපිරියි.......ආයෙමත් සංවිධානය කල සැමට හිස නමා ආචාර කරනවා...... 

 




Friday, January 11, 2013

අම්මලා වෙනුවෙන්.......

යාළු හැමෝටම මතක ඇති සිත්තමීගේ අත්තම්මා නැතිවුණා.දැන් මාස 4කුත් වුණා.ඒ අඩුව සිත්තමීටනම් හරියට දැනෙනවා.මොකද අත්තම්මා වැඩිපුර ගතකලේ සිත්තමී එක්ක නිසා.නාවල කවල පොවල පොඩි දරුවෙක් වගේ බලාගත්තේ. ඇය ටිකක් හිතුවක්කාර නිසාමයි.වයසට ගියාම හැමෝම පොඩි ළමයි වගේලුනේ.ඒකනම් ඇත්ත කරන්න එපා කියන දේවල්මයි කරන්නේ.අද මාතෘකාව ඒක නෙමෙයි.අම්ම කෙනෙක් ගැන.හරි හරි ඉතින් නිධාන කථාවත් කියන්න එපැයි.සිත්තමීගේ අත්තම්මාගේ රෙදිටික දෙන්න කෙනෙක් හොද හොය ඉද්දි සිත්තමීගේ අම්මට හම්බවෙලා වයසක අත්තම්මා කෙනෙක්.දරුවො 5දෙනෙක් දුක් විදල හදල දැන් පාරක් පාරක් ගානෙ හිඟාකනවා.එහෙම කථා ඔයාල ඕනි තරම් අහල ඇති දැකල ඇති.නමුත් ඒ අම්මගේ එකම දරුවෙක්වත් පුංචි තැනක නෑ.ඔක්කොමලා ලොකු ලොකු තැන්වල. ඒ තැන් වලට යවන්න අම්ම විඳපු දුක. සිත්තමීට හිතුණා අම්මෙක් දරුවෙක් වෙනුවෙන් දුක් විදින හැටි මතක් කරල දෙන්න.

හිතන්න ඔයා කොහේදෝ ඉදල අම්ම කෙල්ලගෙ බන්ඩියට ආව කියල.හිතනවද එයාට ඒක ලේසි පහසු දෙයක් කියල.ඔයා පුංචිම පුංචි ලේ බින්ඳුවක් වුණාට අම්මට ඒක දරාගන්න හරිම අපහසුයි.මාස 3ක් යනකම් එයාට කැරකිල්ල හැදෙනවා ඇගට පණ නෑ.වමනෙ යනවා.කන්න බෑ.කන්න හිතෙන්නෙ නෑ.නිදාගත්තට නින්ද යන්නෙ නෑ.පුදුම දුකක් විඳින්නේ.කොයිතරම් ඇඟට අමාරු වුනත් පැනඩෝල් පෙත්තක්වත් බොන්න බෑ.ඇයි ඔයා කුසේ ඉන්න බව අම්ම දන්නවා.ඒක ඔයාට හොඳ නැති වුනොත් කියල අම්ම බයයි.කන්න ආස කෑමක් කන්න හිතෙන්නෙ නෑ.ඔයාට සැර වුනොත් කියල අම්ම බයයි.මාස තුනක් යනකම් අම්මෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනිද?  ගැස්සෙන වාහනයක යන්න බෑ.දුර ගමන් යන්න බෑ.හිතනවද මේ වගේ කැප කිරීමක් කරන්න පිරිමි කෙනෙකුට පුළුවන් කියලා.කවදාවත් බෑ.

හිතන්න ඔයා දැන් ටික ටික ලොකුවෙනවා.අම්මගෙ බඩ ඇතුලෙ ඔයාට ඉඩහදාගන්න ඔයා වෙහෙසෙනවා.දඟලනවා.අම්මට ඒක කොච්චර දැනෙනවා ඇත්ද?කොච්චර රිදෙනවා ඇත්ද?අපි මොනව හරි දෙයක් කාල බඩේ අමාරුවකට බඩ පෙරලනව දැනුනොත් අම්මෝ දැනෙන අපහසුව.ඉතින් හිතන්න අම්ම කොච්චර දුක් විඳින්න ඇත්ද? ඔයා නිසා.ඔයා කියවගෙන යන්නෙ අකුරු ටිකක් වුණාට මම ලියාගෙන යන්නෙ කෙනෙක්ගෙ වේදනාවක්.ලියාගෙන යද්දි මටත් දුක හිතෙනවා.අම්මගෙ බඩ ටික ටික ලොකු වෙනවා.ඔයා දැන් කිලෝ 1 හෝ ඊට වැඩි ළමයෙක්.අම්ම මේ කිලෝ 1ට වැඩි ඔයාව උස්සන් ඉන්නේ පැයක්ද දෙකක්ද? හිතන්න ඔයාට අතකට කිලෝ එකක් බර යමක් දුන්නොත් පැයක්වත් තියාගන්නෙ නෑ.අනිත් අතට මාරු කරනවා.අම්මෙකුට පුළුවන්ද එහෙම කරන්න.බෑ කියල බිමින් තියන්න.මම මේ කථා කරන්නේ දරු පැටියව බඩේදි නැතිකරන අම්මල ගැන නෙමෙයි.ඔයාව මේ ලෝකෙට බිහිකරපු අම්ම ගැන.


ලොකුම ලොකු බණ්ඩිය තියාගෙන නිදාගන්නවත් බෑ.මාස නවයහමාරක් උඩ අතට හෝ පැත්තට පමණයි ඇයට නිඳාගන්න පුළුවන්. උස්ම ගැනීමේ අපහසුතා.සෙම් රෝග සෑදීම,අධි රුධිරපීඩනය, දියවැඩියාව  අවධානමකුත්  ගැබිනි සමයේදී බොහෝ ලෙස වැලදීමට ඉඩ තියෙනවා.හිතන්න කොච්චර අම්ම ඔයා වෙනුවෙන් දුක් විඳින්න ඇතිද?ලොකුම ලොකු බණ්ඩියත් උස්සගෙන  ඇවිදගන්නත් අමාරු ඇය කොච්චර වැඩ කරනවද? ලොකු බණ්ඩිය කොහේ හරි වදියි කියල බයට පරිස්සම් කරන හැටි.පරිස්සම් කරන්න දරන වෙහෙස.හිතුවද කවදාවත් අම්ම එහෙම කරන්න ඇතියි කියල.

ඔයාව ලැබෙන්න දින ගණන් ලංවෙද්දි කෑම කන්න ආයෙත් අපහසුයි.කෑම ගත්තට පස්සේ ඉන්න අපහසුවක් දැනෙනවා.ඔයා ඇතුලෙ ඉදන් දඟ කරද්දි අම්ම කොච්චර ඉවනවද? මාස නවයක් නවයහමාරක්ම දුක් විඳලා ඔයාව මේ ලෝකෙට බිහිකරන්න එයා සැරසෙනවා.විටෙක දින දෙක තුනක් ඔයා අම්මට වඳ දෙනව වෙන්න පුළුවන්.ඔබ උපදින්න ලංවෙත්ම එයා නිරාහාර විය යුතුයි.නිරාහාර මනුෂ්‍යය දෙව්දුවක් ප්‍රසූතාගාරයට යන්නෙ විටෙක මරණයට අතවනවන වෙන්න පුළුවන්.මරණයත් ජීවිතයත් එක්ක සටනක් දෙන්නෙ දරු පැටියට කරදරයක් නැතිව එළියට එන්න.නිරාහාර අම්ම ලෝකෙම තියෙන ලොකුම වේදනාව විඳිනවා දරුපැටිය වෙනුවෙන්.ලැබූ ශාරීරික වෙහෙස, ශාරීරික වේදනාව සියල්ලම අහවර වෙනවා ආදරණීය ඔබේ පුංචි මුහුණ දුටුවම.

දෙවියනි මෙච්චර දුක් වින්ඳ අම්ම  වෙනුවෙන් මේ දරුවන් ලොකු වුණාම කරන කෙනෙහෙලිකම්.ජීවිතේ දුන්න ඇය වෙනුවෙන් අපි කොච්චර දේවල් කල යුතුද?ඇගෙන් ජීවිතෙන් ලබපු අපි ඇය වෙනුවෙන් ජීවිතයක් දෙන්න බැදී සිටිනවා.ඒ බව අපි  හැමෝම දැනගතයුතුයි.අමතක නොකල යුතුයි.
 

Saturday, January 5, 2013

ආයෙමත් ආදරෙන්.......


මීදුම සිසාරා නැගුණත් රාත්‍රිය
ඔබ මොබ යන නිශාචරයින් හැර
නින්ද නැතිව දුක්විඳින එකම හිත
ඒ මමයි නොදන්නවා වුනත් නුඹ
ආදරෙයි මහ හුඟක් නුඹට.......

විසඳුමක් නැති ප්‍රශ්න අතර 
ගුලිගැහුණු මගේ හිත ළඟට
පිළිසරණක්  නැතිව ලතවුනත්
කඳුල පමණි මගේ පිළිසරණ
එහෙත් ආදරෙයි මම නුඹට.......

හිත නැලෙව්වත් නුඹෙ ආදරය
මා අසරණ බව දැන දැනම
නුඹේ නිහඬ බව හිතට
සැනසුමක් නැතිකලත් හදවත
නින්ද නැතිවුණත් දෙනෙතට
ආදරෙයි මම පණමෙන් නුඹට.......

බ්ලොග් එක අතහැර ගියත් පුදුම ආසාවකින් හදපු බ්ලොග් එකක් නිසා හිතට දැනුණ පාළුව තනිකම ගැන කියන්න වචන මදි.මාස 2කින් පෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒ නිසාම අළුත් අවුරුද්දේ අළුත් බලාපොරොත්තු පොදි බැදගෙන සිත්තමී ආයෙමත් ලියන්න ආවා.නොලියපු මාස 2තුල මේල් එකේදි හමුවුණ ආදරණීය යාළු හැමෝම ආයෙමත් ලියන්න කියලා දිරිය දුන්න හැමෝටම සිත්තමී කෙල්ලගේ ආචාරය.......

මාව අතහැර ගියපු හැමෝම වෙනුවෙන් සිත්තමී සමාව අයදිනවා.....ආයෙමත් එහෙම නොවන්න වග බලාගන්න සිත්තමී පොරොන්දු වෙනවා......

 

 

Tuesday, November 6, 2012

නුඹ නාවත් ......





මගෙ හිත ලඟ
නුඹ තනියට
ඔය හිත මට
පුද දුන්නා....

හැම දිනකම
සතුට අරන්
නුඹ මා වෙත
පියමැන්නා...
.
.
.
.
.
.
.

නමුදු දිනක
මගේ හිතට
කඳුළු අරන්
නුඹ ආවා...

යළි එන්නෑ
මම එන්නෑ
නපුරු හඬින්
නුඹ කීවා...
.
.
.
.
.
.
.

කවදා හෝ
නුඹ ඒවියි
මගෙ හිත මට
කොඳුරනවා...

නුඹ නාවත්
කවදාවත්
මම නුඹටම
පෙම්කරනා....

සිත්තමී සිත්තමේ ලියන අවසාන කවිය.........

Thursday, October 25, 2012

නොකියානම් නුඹ මට යන්න එපා......


හැරයන්නට පෙර මත්තෙන්
එන්න කියා නුඹ මට යන්න එපා
මතකය සිරකොට නෙතු අගිස්සේ
පෙරදා සේ නොදොඩා ඉන්න එපා

හැර දමා මා යන්න ඕනිනම්

යන්න මා දමා තව ඉන්න  එපා
මා වැරදිනම් අනේ ඒ ගැන
නොකියානම් නුඹ මට යන්න එපා

නුඹේ රුව මගෙ හිතම සැනසුවද
හැරගිය පසු මට දැක ගන්න එපා
පිළිකුලක් වෛරයක් නැහැ මට
නමුත් මා ගැන යළි සිතනු එපා

Thursday, October 18, 2012

සමබර නොවන තරාදියක......


දෙමාපිය සෙනෙහස
ඔබේ ආදරය
සමබර නොවුනොත්
එකම තරාදියක
රිදේවි මසිත
අනේ මහ හුඟක්.......

තේරුම් නොගෙන
විඳවන මගේ හිත
එකඳු පැත්තක් හෝ
බර වුනොත්
විඳවාවි මගේ ජීවිතේ
මියෙන තුරු මා
හැමදාම......

විඳගන්න බැරිවුනොත්
සමබර නොවූ තරාදියේ
මගේ ජීවිතය
මියෙනවා හැර
නැතිය පිළිතුරක්
තවත්
මගේ ජීවිතේට...... .



සිත්තමී ලියූ කවියක් වගේ කවියක් නොවූ සිතුවිල්ලක්......
තේරුම් ගත්තෝ තේරුම් ගනිත්වා නොතේරුනෝ මට සමාව දෙත්වා....





Saturday, October 13, 2012

ආදරේ පුරවපු මගෙ පණයි ඔයා.....


දිනක් දෙකතුනක් නොදැක බැරි මට
මසක් බැලුවත් නැහැ ඔයා
මටත් හොරෙන් හිත හදාගත්තද
නමුත් නොදැක බැහැ මට ඔයා

දකින්නට සිපගන්න නැහැ මට
අනෙක් අයට සේ මගෙ ලග ඔයා
නමුත් සිතින් සිය දහස්වරක් සිප
සිත සනසනවා නොදැක ඔයා

විටෙක තනිකම හිතට පාළුව

දැනෙන විට මතකයේ ඔයා
මගේ ඇට මස් නහරවැල් තුල
ආදරේ පුරවපු මගෙ පණයි ඔයා

  ................................... 




ඔන්න අද තමයි සිත්තමීගෙ 50 වෙනි පෝස්ට් එකපලකලේ.බ්ලොග් ලෝකෙට ආධුනිකයෙක් වෙච්ච සිත්තමී අදින් පස්සෙ ආධුනිකයෙක් නෙමෙයි.හැබැයි මහ ලොකු වැඩකාරයෙකුත් නෙමෙයි.කවි 36 එක්ක ලියපු පෝස්ට් බැලුව ආදරණීය යහළු ඔබ සැමට මාගේ ප්‍රණාමය
...................

 සිහින සිත්තම හැඩකරන සිත්තමී
 

Monday, October 8, 2012

සිත්තමී මියදුණා......

මියදෙන්න හිත හිත හිතපු මාහට
මියදෙන්න වුණා මා නොසිතු වෙලාවක
පණ ගැහෙන නලියන අහිංසක හිත
වේදනාවෙන් මියදුණා....

දුවල ඇවිත් අර අරකි මැරිල බොල
කියයි අදුරන මිතුරො එකිනෙක
කමක් නැහැ බොල ඇහෙන්නැහැ මට
මගේ ලෝකෙට මම ගියා.....

කීතු කීතු කර කෑලි කෑලි කර
හිතම රිද්දවා මියදුණා මා අද
එපා ආයෙනම් මනුලොවක් මට
අලුත් උප්පත්තියකට තවත්.....

නිවන් ‍සුව සොයුරියේ නුඹහට
කියයි නුඹලා සැවොම එකලෙස
නිවන් ලබන්නට පින් මදි බොලවු මට
ඒ තරම් පවුකල කෙනෙක් අද මම......

Friday, September 28, 2012

පාසලේ අලිගැටපේර කාලපරිච්ඡේදය .....

ඕන් යාළුවනේ හැමෝගෙම ඉල්ලීම පරිදි සිත්තමී නැවතත් පාසලේ දඟවැඩක් මෙමරි එකෙන් මතකෙටත් මතකයෙන් මෙමරි එකටත් ගන්නයි මේ සූදානම. ඕන් මේ වෙද්දි සිත්තමී‍ගෙ දඟම කාලෙ. දඟ කෙරුවයි කියල කවමදාකවත් සිත්තමී ඉස්කෝලෙ වැඩ අනාගත්තෙ නෑ.ඒ ඒ දේවල් ඒ ඒ විදියට කරන්න සිත්තමීට සුපිරි මොලයක් ජාන වලින්ම ලැබුන නිසා වැඩ අනාගත්තෙ නෑ ඉතින්. දඟ වැඩ කෝටියක් එක්ක පාසල් කාලය හරි ඉක්මණින් ගෙවිල ගියා.ඒ ගැන මතක් වෙද්දිත් දුකයි.

හරි මෙන්න කථාව.මගේ පාසල ළමුන් 2500ක් පමණ ඉගන ගන්නා පාසලක් භූමි ප්‍රමාණයත් සෑහෙන්න විශාලයි.පාසලේ පිටුපස කොටස ගම පැත්තට ආවරණය වීම විටෙක විදුහල්පතිට හා ගුරුවරුන්ට හරි කරදරයක්.ඒ ගැන පස්සෙ කියන්නම්කෝ මෙමරි එකේ තියාගන්නකෝ.නගරයෙන් ටිකක් විතර ඉවත්ව යද්දි තමයි පාසල හමුවන්නේ.පළතුරු විමානයක පිහිටි මගේ පාසල මතක් වෙද්දිත් ඇග නලියනව වගේ.නෙල්ලි (පාසලට අඩිය තියද්දිම තියෙන ළමයින් පිස්සු වැටෙන අපේ ජාතික ආහාරය ගස් 8 ක් පාර දෙපස හිටවල තියෙනවා) ඊලගට ජම්බු. පේර. රඹුටන්. පිණි ජම්බු. අලිගැටපේර. තැඹිලි. කුරුම්බා. වරකා. ගස්ලබු.නමිනං. බෙලි. වලින් ස්වංපෝෂිත පාසලක්. ළමයින්ට ගෙඩි හැදෙන කාලෙට දිව්‍ය වරප්‍රසාද ලැබුන ගානයි...

හ්ම් දන්නවද සිත්තමී වැඩිපුර කන්න කැමතිම අලිගැටපේර.ඉතින් අලිගැට පේර ගස් දෙකට මායිම්ව පිහිටි අපේ පන්තිය ගෙඩි හැදෙන කාලෙට කිසිම ළමයෙකුට ඒ පැත්තට නොයන්න වගබලාගන්නේ අපේ පන්තියේ අයම තමයි.අලිපේර ගහේ මල් ආපු දා ඉදල ගෙඩි පැහිල ඉදෙනකම්ම ගහේ තියෙන ගෙඩි ගානත් අපේ පන්තියේ අය දන්නවා. එක ළගම පිහිටි ගස් 2කේ ගෙඩි පිරිල වැඩි කමට අතුබිමට බර වෙනවා.මේ ගස්දෙක පිහිටන්නේ විදුහල්පති ගුරු නිවාසෙ පිටුපස ඒ කියන්නෙ අපිට යාබදව පිහිටන්නේ විදුහල්පති ගුරු නිවාසය.අපේ පන්තිය පිහිටියේ ටිකක් උස්බිමක හදමින් පවතින ගොඩනැගිල්ලක අවසාන පන්තිය.මුල්ලටම කරල අපිව තියල තියෙන්නෙත් අපේ යහපත් කල්කිරියාවම නිසාම. ඒ ගැන සතුටට පත් විදුහල්පති කාගේවත් ඇස්වහ වැදුණොත් එහෙම කියල මුල්ලකට කොරල අපිව තිබ්බා...හි හි හී...


ඔන්න ඉතින් අලිපේර ගෙඩි හැදෙන කාලෙ ඉදන් අපි පණවගේ බලන් හිටිය ගෙඩි පැහෙනකම්.ගෙඩි පැහෙන කාලෙට කොච්චර පරිස්සම් කලත් පොඩි කොලුපැටවුන්ගෙන් බේරගන්නවා බොරු.විවේක කාලයට රණ්ඩු කෝටියයි ගෙඩි වලට.ඉතින් එදත් මම හිතන්නේ පාසලේ 3වෙනි කාලපරිච්ඡේදය වෙන්න ඇති.ගුරුතුමිය නොපැමිණීම හේතුවෙන් අපි සැමගේ මැදිහත් වීමෙන් අලිගැටපේර කාලපරිච්ඡේදයක් පවත්වන්න සියළු කටයුතු සූදානම් කලා.ඉතින් ඕනෑම පන්තික දග මළු ටිකක් වගේම සයිලන්ස් මූඩ් අයත් සමසේ ඉන්නවනේ අන්න ඒ අයගේ දැඩි විරෝධය මත ඔවුන්ව පන්තියේ හලමින් සිත්තමී ප්‍රමුඛ අලිගැටපේර කමිටුව ඉස්සර වුණා.මගදෙපස පිරික්සමින් තොරතුරු සන්නිවේදනය සදහා සුපුරුදු ලෙස ආරෂක අංශයේ වැඩ බලන පළපුරුදු දෙතුන් දෙනාත් බුද්ධි අංශයේ වැඩ භාරගනිමින් පිරිස ටිකෙන් ටික ගුරු නිවාසෙ පිටුපසට වෙන්න සේනදු වුණා.මල්හතයි කිව්වලු විදුහල්පති හාමිනේත් අද ගුරුනිවාසෙ නෑ...හුරේ නිදහසේ වැඩක් දෙන්න පුළුවන්.ප්‍රීතියෙන් ඉපිලෙමින් වල්පැල අස්සේ පරිස්සමට හන්ගපු පොළු මුලුගුරු අරගෙන වැඩ ආරම්භ කලා.


දහ්....දහ්.....ඩොග්......ඩොග්....ඉදුණු පැසුණු අලිගැටපේර  එකින් එක බිමට සේනුදු වුණා.සිත්තමීත් දුව දුව පැන පැන පොළුපාරවල් බේර බේර වැටෙන අලිපේර ඇහින්දා...හික්ස් පෙරේත කමේ මහත.හරි හරි පෙරේත කම වුනත් දෙයියනේ අලිපේරනේ.

මේ කරෝලයා ඒ බන් සීනි කොහෙන්ද කැන්ටිමෙන් ගන්නවද? 
                                      
සිත්තමී රොබරි අයියා වන කරෝලයාගෙන් ඇහුවා.

උඹට කඩල දුන්නම මගුල තව සීනිත් අහනවා...@@@@@@ (කැත කටක් තියෙන්නෙ එයාට)සිත්තමී නිහඩ වුණා.

මේ අහපන් කරෝලයා අපි ගුරු නිවාසෙම කුස්සිය පැත්තට පැනලා සීනි බෝතලේට දෙමුද .ඒ කටහඩ අවධි කලේ සිත්තමීගේ අඹයා ගයි...හරි පොඩි සර්ච් එකක් දාමු..

කොල්ලෙ ටික ගුරුනිවාසෙ සීනි බෝතලේට ‍ගුස්පියක් අදින අතරේ මුරට දාපු එකෙක්ගෙන් උණු නිවුස් එකක් 

ඒයි පිනා එනෝ......පිනා එනෝ......දුවමූ......

දන්න වැඩ කෑලි දාල එකා එකා කඩපු අලිපේර අතින් අරන් දුවන්න වුණා.එකගෙඩියක් මටනම් මදි.ගෙඩි දෙකතුනක් අරන් මමත් දිඩිදිඩිගාලා දිව්වෙ නැතැයි සිත්තමීට ඉතින් දුවන්න බැරුවයි.දිව්ව ඉතින්...

ඔන්න ඉතින් එකා එකා පිටිපස දුවල ආපි අපි පන්තියට........ ඔය කරල තියෙන්නේ වැඩක් කරෝලයා අලිපේර කඩ කඩ හිටපු පොල්ලත් කරේ තියන්ම පන්තියට දුවල....ඒක පැත්තකින් තියමුකෝ දෙයියනේ කරේ තියන පොල්ල පිටිපස්සෙ කොඩිය හික්ස් ඒ මොකක්ද? අපොයි මලා පින්සිපල්ගේ යටම යටම යට ඇදුමක් ඒකෙ අගිස්සෙ පැටලිලා ඇවිත්....එත් දෙයියනේ දැන් මොකයි කරන්නේ.කරෝලයට ඒක හරි ජොලියක්.හූ තියනවා දුවනවා පොල්ල කරේ තියන් කරකවනවා වැඩ කෝටියයි..බලන් ඉන්න ආසාවෙ බෑ.ඔන්න ඊලග සෙල්ලම පටන් ගත්තා.අලිපේර කාලපරිච්ඡේදයට සහභාගි නොවූ අයගෙ ඔළුවට ප්‍රින්සිපල්ගෙ යට ඇදුම විසිකරනවා.දැන් ඒක පන්තියෙ එහාටයි මෙහාටයි මෙහාටයි එහාටයි යනවා. කෙල්ලො කෑගහනවා අප්පිරියාවට...ෂික්.....

ගුරු නිවාසෙට ගිහින් ආපහු කාර්යාලයට යන ප්‍රින්සිපල්ට අපේ සද්දෙ ඇහිලා ඇවිත්. අපිත් දැක්කෙ නෑ...වැඩේ අතේ මාට්ටු.අනේ මගේ කට කැඩෙනකම් කිව්වා කරෝලයෝ ඕක නවත්තපන් .....වැඩක් වුනේ නෑ...දැන් ඉතින් වැඩ ඉවරයි.

නවත්තපල්ලා ඕක 

ගොරහැඩි කටින් ප්‍රින්සිපල් අපිව ඇමතුවා ආදරෙන්. අවසාන වතාවට යට ඇදුම ඉතුරු වුනේ කෙල්ලෙක්ගෙ ඔළුවෙ. කරඩුව වැඩෙම්මුව වගේ  ඒකිත් ඒක ඔළුවෙ තියාගෙනම දෑතින් අල්ලෙගන නැගිට්ටා. පිනාට යකා නැගල  යකා නගින්නෙ නැද්ද ඉතින් එයාට වුනත් ලැජ්ජාවක් කියල ඒකක් තියෙනවනේ ඒක පැත්තක තියමුකෝ. කොරේ පිටට මරේ කියල කඩපු අලිපේර ටිකයි හොරකම් කරපු සීනියි තාම අපේ ඩෙස්ක් වල උඩ. 

මේක කරපු එවුන් නැගිටපියයව්...... මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඒ අපේ ආදරණීය ප්‍රින්සිපල් 
 මම දැකලම නෑ ඒ තරම් කේන්තියක් 

කරපු ඒවුන් නැගිටපියව්.....

එකෙක්වත් දැන් කරල නෑ.කවුරුවත් කරලත් නෑ.සිංහ නාදය වැඩියි මම දැනගත්තා වැඩේ අවුලටම යන බව නොකරපු උන්ටත් සම්බුව ලැබෙන්න කලින් සිංහ ලීලාවෙන් වැඩා වගේ මම නැගිට්ටා.මම දන්න එක දෙයක් තියනවා මම තනිවෙන්නෙ නෑ කියලා කවුරු නැතත් හවුලට ගයියා ගුටිකන්න   එනවම තමයි ඒ නිසයි නැගිට්ටේ හික්ස්....ඔන්න දැන් පුටු පස්සට වෙවී පන්තියෙන් බාගෙකටත් වැඩියෙන් නැගිට්ටා.

වරෙව් යන්න..... ඒ ආදරණීය ප්‍රින්සිපල් 
එකාට වේවැල්පාරවල් දෙක බැගින් පිළිගන්වමින් විදුහල්පති කාර්යාලය ලග අපි පෝලිමට දණ ගැස්සුවා. විවේක කාලයත් පහුවුණා ඒත් අපිව යැව්වෙ නෑ. විවේක කාලයේ එලියට බැහැපු පොඩිඑවුන් අපිට ඔච්චම් කර කර එහෙ මෙහෙ ගියා. මොනව වුනත් ඉවසන්නම බැරිම දේ ඒකයි.පොඩිඅයට දෙයක් දැක්කොත් අමතක කරන්නෙම නෑනේ. මහ අවුවෙ පැය දෙකක් දණ ගැහුවා.නිකම් නෙමෙයි කඩපු අලිපේර ටිකත් අපි ඉදිරියෙන් තියාගෙන අලිපේර හොරු කියල බෝඩ් ඒකකුත් ඉදිරියෙන් තියාගෙන...

අපි හිතුවේ අපි අලිපේර හොරු නමින් ප්‍රසිද්ධ වෙයි කියලා නමුත් අවාසනාව කියන්නේ අපේ ඊළඟ දඟවැඩේ කරලියට එනකම්ම අපි ප්‍රසිද්ධ වුනේ ජ.ගි හොරු නමින්. ඒ නම අපි කවුරු එළියට බැස්සත් පුංචි ළමයින්ගේ කටවල් වලින් රැව්පිළි රැව් දුන්නා.දෙකක් තුනක් ඇණල නිශ්ශබ්ද කල අවස්ථාත් තිබුණා.